ඇමෙරිකාව කොරෝනා කේන්ද්‍රස්ථානය වූ හැටි

Staff Writer | Author . Translate to English or தமிழ் 28. 03. 2020 | 10.31pm
ඇමෙරිකාව කොරෝනා කේන්ද්‍රස්ථානය වූ හැටි

ලෝකයේ වැඩිම ‌කොරෝනා ආසාධිතයන් වාර්තා වූ රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය ඊ‌යේ(27) වාර්තා අතරට එක්වූයේ ‌එරටින් වාර්තා වූ ‌කොරෝනා ආසාධිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවමිනි. 

ඇමෙරිකා‌ෙවේ ‌කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූයේ එහි පළමු ‌කොරෝනා ‌රෝගියා වාර්තා වී මාස ‌දෙකකුත් දින හතක් යන ‌මොහොතේදීය. මාස ‌දෙකක් තිස්සේ ඇමෙරිකාවේ ‌කොරෝනා ව්‍යාප්ත වූයේ ‌කෙසේද? ‌මේ ලිපිය ඒ් ගැනයි.

ඇමෙරිකාවේ පළමු වන කොරෝනා ආසාධිතයා යැයි තහවුරු කර ගත් රෝගියා ගැන වාර්තා වූයේ ජනවාරි 20 වැනිදාය.

30 හැවිරිදි එම ආසාධිතයා වොෂිංටන්හී සියැටල් ආසන්නයේ ස්නෝහොමිෂ් (Snhomish) නගරයේ පදිංචිකරුවකු වන අතර ඔහු ජනවාරි 15 වැනි දා චීනයේ වුහාන්හි සිට ඇමෙරිකාවට පැමිණ ඇත.

ඒ වන විට ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් තිබී නැති අතර ඔහු මෙසේ ඇමෙරිකාවට පැමිණ ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් තුනක කොරෝනා තිරගත පරීක්ෂාව ආරම්භ කිරීමට දින දෙකකට පෙර බව සදහන් වේ. 

ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී වුහාන් ප්‍රදේශයේ සිදු කළ සංචාරය පිළිබඳ වෛද්‍යවරුන් දැනුම්වත් කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙම පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් හඳුනා ගැනීම ආරම්භ කරන ලදී. 

එහිදී වුහාන් සිට ගුවන් යානයේ පැමිණි සෙසු මගීන්ට ද මොහු නිරාවරණය වී ඇති නිසා එලෙස පැමිණි සෙසු මගීන් කවුරුන්දැයි සොයා බැලීමට ද සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

නමුත් දින කිහිපයක් ඇතුළත එම වෛරසය සීඝ්‍රයෙන් පැතිරීමට පටන් ගත්තේය. 

පසු දින එම ප්‍රදේශයේම පුද්ගලයෙක්ට ⁣කොරෝනා ආසාදනය විය.ඉන් පසු දිනවල ද එම ප්‍රදේශයේ ආසාදිතයින් සීග්‍රයෙන් වැඩි විය.

මෙි සමග අන් ප්‍රදේශවල ද ආසාදිතයින් සෙමින් සෙමින් තහවුරු ⁣වන්නට විය.

ජනවාරි 24 වැනිදා ඉලිනොයිස්වලින් රෝගියකු වාර්තා වූ අතර 25 වැනිදා කැලිෆෝනියා ප්‍රාන්තයෙන් එක් රෝගියකු තහවුරු කෙරිණි.26 වැනිදා ඇරිසෝනා ප්‍රාන්තයෙන් රෝගියකු වාර්තා විය.

උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකා පුරවැසියන්ගේ පවුල්වල සාමාජිකයන්ට හෝ ස්ථිර පදිංචිකරුවන්ට හැර පසුගිය දින 14 තුළ චීනයේ සංචාරය කළ ඕනෑම විදේශීය සංචාරකයන්ට එක්සත් ජනපදයට ඇතුළු වීම ජනවාරි 31 වැනිදා අත්හිටුවීය.

⁣ජනවාරි මාසය අවසන් වන තෙක් රෝගීන් තහවුරු වූයේ වොෂිංටන්, ඉලිනොයිස්, කැලිෆෝනියා සහ ඇරිසෝනා ප්‍රාන්තවලින් පමණි.

නමුත් පෙබරවාරි මුල සිට මැසචුසෙට්ස්,වින්කොන්සින් වැනි ප්‍රාන්තවලටත් වෛරසය පැතිරිණි.පසුව දිනෙන් දින මෙම වෛරසය අනෙක් ප්‍රාන්තවලටත් පැතිරී මේ වන විට සියලුම ප්‍රාන්තවලට වෛරසය පැතිර අවසන්ය.  

මෙලෙස දිනෙන් දින රෝගීන් වාර්තා වූ අතර පරීක්ෂණවලින් අනාවරණය වූයේ වෙස්ට්චෙස්ටර් හී ලෝං අහිලන්ඩ්හි නව රෝගීන් සිය ගණනක් සිටිනා බවයි. දින ගණනක් ගත වෙද්දී නිව්යෝර්ක්හි කොරෝනා ආසාධනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවන ලදී. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය, ගල්ෆ් වෙරළතීරය හා පැසිෆික් වයඹදිග ද ඇතුළුව සෑම ප්‍රදේශයකින්ම සෑම දිනකම නව ආසාධිතයන් සිය ගණනක් හඳුනා ගැණිනි. 

ඒ අතර ආණ්ඩුකාර ඇන්ඩ්‍රෘ ක්වෝමෝ (Andrew cuomo) නිව්යෝර්ක් හී ව්‍යාපාර ස්ථාන වසා දමන ලෙසටත්, විශ්‍රාමික වෛද්‍යවරුන්ට නැවත සේවයට පැමිණෙන ලෙසත් ඉල්ලා සිටියේය. 

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මුලින් වාර්තා වූ රෝගීන් බොහොමයක් විදෙස් සංචාරවල නිරත වී සිටි අය බව අනාවරණය වූ නමුත් ඔවුන් විවිධ ස්ථානවල ගැවසීම නිසා තවත් ආසාධිතයන් වැඩි වී ඇතැයි එරට බලධාරීහු පෙන්වා දෙති.

මුල් කාලයේ රෝගීන් වාර්තා වූයේ ඉතාමත් අඩු මට්ටමක වුවත් මේ වන විට ඇමෙරිකාවේ දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අන් රටවලට වඩා ඉතා වැඩිය.

පසුගිය පෙබරවාරි 24 වැනි දා ධවල මන්දිරය කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටින්නේ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩොලර් බිලියන 1.25ක නව හදිසි අරමුදලක් නිකුත් කරන ලෙසයි.

පෙබරවාරි 29 වැනි දා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා ආසාධිත පළමු මරණය වාර්තා විය. මෙම රෝගියා වොෂින්ටන්හි කිරක්ලන්ඩ්හි (kirkland) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. 

රෝගියා වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලයෙකි. CDC අධ්‍යක්ෂ  වෛද්‍ය රොබර්ට් රෙඩ්ෆීල්ඩ් (robert redfield) කියා සිටියේ මෙම පුද්ගලයා මෑතක දී විදේශ සංචාරයේ යෙදී ඇති බවට හෝ වෛරසය ආසාධිත වූ පුද්ගලයකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.ඔහු වෙනත් රෝග සහිත පුද්ගලයෙක් බවද පැවසේ.

නිව් යෝර්ක් නගරයේ පළමු කොරෝනා රෝගියා තහවුරු වූයේ මාර්තු 1 වැනිදා ය.

වොෂිංටන් ප්‍රාන්තයෙන් පිටත පළමු මරණය මාර්තු 4 වන දින උතුරු කැලිෆෝනියාවේ සිදු විය.මිය ගිය පුද්ගලයා වෙනත් රෝග සහිත වයෝවෘද්ධ පුද්ගලයෙක් වන අතර, ඔහු පෙබරවාරි මාසයේ සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මෙක්සිකෝව දක්වා ගමන් කළ මගී නෞකාවක ගමන් කරමින් සිටියදී වෛරසයට ගොදුරු විය.

පළමු මරණය වාර්තාවීමත් සමඟ ජනපති ට්‍රම්ප් විසින් ආවේගශීලීව ජාතිය අමතමින් මහජනතාව වෙත ප්‍රකාශ කර සිටියේ විදේශ ගමන් සඳහා තහනමක් පනවන බවය. ඒ අනුව ඉරානයට සංචාරය කිරීම සම්පූර්ණයෙන් තහනම් කළ අතර පසුගිය දින 14 තුළ ඉරානයට ගිය ඕනෑම විදේශීය පුරවැසියකුට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරන ලදී. 

ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණෙන සංචාරකයින් ගුවන්තොටුපොළේ දී පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කරන ලදී.  

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝ්නා වෛරසය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මාර්තු 11 වැනි දා ජනාධිපති ට්‍රම්ප් විසින් යුරෝපා මහාද්වීපයේ රටවලින් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම දින 30කට තහනම් කරන බව ප්‍රකාශ කළේය. 

පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මාර්තු 13 වැනිදා ජනාධිපති ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. 

ඔහු විසින් ජාතික හදිසි තත්ත්වයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර බිලියන 50ක ෆෙඩරල් අරමුදලක් වෙන් කරන ලදී. තවද උද්ගතවී ඇති වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා රෝහල් හා වෛද්‍ය කාර්යමණ්ඩල විසින් නම්‍යශීලී සේවාවක් ලබා දිය යුතු බවත්, දුරස්ත පුද්ගලයකුට වුවද පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි අන්දමට කටයුතු සකස් කරන්නැයි ඉල්ලා සිටියේය. 

මාර්තු 15 වැනිදා CDC විසින් මහජනතාව වෙත අවවාද කර සිටියේ ඉදිරි සති අටක කාලය තුළ පුද්ගලයන් 50ක් හෝ වැඩි ගණනක් එකට එක් රැස් නොවන ලෙසය. 

මේ සඳහා මංගල උත්සව, පෙළපාලි, ප්‍රසංග, ක්‍රීඩා ඉසව් හා සම්මන්ත්‍රණ අයත් වේ. නමුත් මාර්තු 16 වැනි දා ජනාධිපති විසින් නියෝග කරනු ලැබුවේ පුද්ගලයන් 10ට වැඩි කණ්ඩායම් එක්රැස් නොවන ලෙසය. සිසුන් මිලියන 1.1ක් සිටින ඇමෙරිකාවේ විශාලතම පොදු පාසල් පද්ධතිය ද වසා දැමීමට ද නියෝග කෙරිණි. 

අද වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 105000 ඉක්මවා ගොස් තිබේ.

 

මෙම තත්ත්වයට එරට රජය ගත් ක්‍රියාමාර්ග හේතු වූ බවත් චීනයේ මෙම වෛරසය අනෙක් රටවලත් පැතිරීම ගැන ඇමෙරිකානු බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීම් ට්‍රම්ප් නොසලකා හැරී බවත් එරට බලධාරීන් චෝදනා කර තිබිණි. 

ඔහු වෛරසය පැතිරෙන අවස්ථාවේදී පවා පැවසූවේ රට නිරෝධායනය කිරීමට තවමත් සැලසුමක් නැති බවත් ජනාධිපතිවරණයේ ප්‍රාථමික මැතිවරණ කටයුතු පවා කල් දැමීමට අනවශ්‍ය බවයි.

කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හා තීව්‍රතාව පිළිබඳව ඇමෙරිකානු බුද්ධි අංශ ජනවාරි මාසයේ සිට කළ අනතුරු ඇඟවීම් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසලකා හැර ඇති බව වොෂිංටන් පෝස්ට් වාර්තා කළේය.

බුද්ධි අංශ වාර්තා සහ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ඇමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් වොසින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේ වෛරසයේ ස්වභාවය, ගෝලීය ව්‍යාප්තිය සහ චීනය එහි බරපතලකම අවතක්සේරු කිරීම - වසන් කිරීම මෙන්ම එය පාලනය කිරීම සඳහා රජයේ ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය පෙන්වා දුන් බවයි. නමුත් ට්‍රම්ප් ඒවා බරපතල ලෙස නොසැලකූ බව පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි.

 "ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය අපේක්ෂා කරන්නට නැතිව ඇති. නමුත් ආණ්ඩුවේ තවත් බොහෝ දෙනෙක් මේක වෙයි කියලා දැනගෙන සිටියා -  ඒ ගැන කිසිවක් කිරීමට ට්‍රම්ප්ට බලකරන්න ඔවුන්ට නොහැකි වුණා" යනුවෙන්  නිලධාරියෙක් පෝස්ට් පුවත් සේවය සඳහන් කළේය. 

සීඅයිඒ සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

 "ජනාධිපති ට්‍රම්ප් ඇමරිකානු ජනතාවගේ සෞඛ්‍යය, ධනය සහ ආරක්ෂාව සඳහා ඓතිහාසික, ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.ඔහු එසේ කරන අතරතුර මාධ්‍ය සහ ඩිමොක්‍රටිකයින් තෝරාගෙන ඇත්තේ  දෝෂාභියෝගයක මෝඩ දේශපාලනය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට ය" යි ධවල මන්දිර ප්‍රකාශකයෙකු වන හොගන් ගිඩ්ලිගේ  ගිඩ්ලි පැවසීය.

ජනවාරි සහ පෙබරවාරි මාසවලදී කොරෝන වයිරසයේ තර්ජනය සම්බන්ධයෙන් කොංග්‍රස් බුද්ධි කමිටු දැනුවත් කළ බවද ආරංචිමාර්ග පවසයි.

වෛරසය එක්සත් ජනපදයට ඇතුළු වන දිනය කවදාදැයි බුද්ධි අංශ පවසා නැති නමුත් චීනයේ සහ පසුව වෙනත් රටවල වෛරසය පැතිරීම පිළිබඳව අනතුරු ඇඟවීය.

ට්‍රම්ප්ගේ සහායකයින් වෛරසයේ බරපතලකම ඔහුට ඒත්තු ගැන්වීමට නිෂ්ඵල උත්සාහයක් ගත් බව පෝස්ට් වාර්තා කරයි. 

සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර්ට ජනවාරි 18 වනදා වනතුරු වෛරසය ගැන ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට නොහැකි වූ බව පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දෙදෙනෙක් පෝස්ට් වෙත ප්‍රකාශ කළහ.

එම අවස්ථාවේදී වෙනත් සිද්ධියක් ගැන විමසමින් ජනාධිපතිවරයා ඔහුට බාධා කළ බව එම නිලධාරීහූ පැවසූහ.

වෛරසය අධීක්ෂණය කිරීම සඳහා ඉහළ පෙළේ නිලධාරීන්ට ඒත්තු ගැන්වීමේ උත්සාහයක් ලෙස ජනවාරි මාසයේ දී නිලධාරීන් පිරිසක් එවකට වැඩබලන ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී මික් මුල්වානේ හමුවී ඇතැයි සඳහන් වෙයි. 

ධවල මන්දිරයේ අධ්‍යක්ෂවරයකු වන ජෝ ග්‍රෝගන් එහි දී කියා ඇත්තේ ධවල මන්දිරය බැරෑරුම් ලෙස මෙම අවස්ථාවේදී  පියවර නොගතහොත් වෛරසය මාස ගණනක් තිස්සේ පැතිරීමට ඉඩ ඇති බවයි.

ඉන් ට්‍රම්ප්ගේ නැවත තේරී පත්වීම අහිමිවීමේ අවදානමක් ඇති බව ද එහිදී ප්‍රකාශ වී තිබේ. 

චීන ජනාධිපති ෂී ජින් පිං විසින් සපයන ලද තොරතුරු විශ්වාස කරමින් වෛරසයේ තර්ජනය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්නට තිබු බව වොෂිංටන් පෝස්ට් වාර්තා කරයි.

චීනය වෛරසයේ ආසාදන ගණන හා මරණ ගණන පිළිබඳ සාවද්‍ය දත්ත සපයන බවට සමහර ජනාධිපති උපදේශකයින් තරයේ කියා සිටියත් ට්‍රම්ප් ඒවා ප්‍රතික්ෂේප කරමින් චීනය කොරෝනා වෛරසය පාලනය කිරීම ගැන ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළ බව නිලධාරීන් එම පුවත් සේවයට පවසා තිබේ.

පෙබරවාරියේ පැවති රැස්වීමකදී ට්‍රම්ප් තර්ක කළේ චීන ජනපතිවරයාට වැඩි පීඩනයක් එල්ල කළහොත් චීන රජය මෙම වෛරසය පැතිරීම පාලනය කරන ආකාරය බලා ගැනීමට ඇති ඉඩකඩ අඩු වන බවයි.

⁣වෛරසය එක්සත් ජනපදයට ඇතුළු වූ විට පවා ට්‍රම්ප් වෛරසය බරපතල තර්ජනයක් ලෙස දැක්වීමට විරුද්ධ වූ බව වොෂිංටන් පෝස්ට් වාර්තා කළේය. 

වෛරසය පැතිරීම ගැන රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන නිලධාරි නැන්සි මෙසෝනියර් ආයෝජකයින් බිය ගන්වන බවට ද ට්‍රම්ප් දොස් පැවරූ බවද එහි සඳහන් වෙයි.

දිලිනි එරංගා රණේපුර 

SOURCES

CNN

https://www.google.com/amp/s/amp.cnn.com/cnn/2020/03/08/health/coronavirus-evolved/index.html

https://edition.cnn.com/2020/03/20/politics/us-intelligence-reports-trump-coronavirus/index.html

New York Times

https://www.google.com/amp/s/www.nytimes.com/interactive/2020/world/coronavirus-maps.amp.html

https://github.com/nytimes/covid-19-data

Cover Photo :CNN

Share