No Translation

Staff Writer | Author . Translate to English or தமிழ் 26. 03. 2020 | 7.08pm

ඇඳිරි නීතිය ඉවත් කරන ලද කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරවලට මුඛ ආවරණ නොපැලඳ පැමිණි අයව නැවත හරවා යැවීම් සම්බන්ධයෙන් පසුගිය දින වල වාර්තා විය.

එලෙස සිදුවූයේ මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවත් සමාජ දුරස්ථ භාවය අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසා සිටි අවධියකය.

මුඛ ආවරණ නොපැළඳින අය⁣ට  කාර්යාල හෝ වෙ⁣ළෙඳසැල්වලට ඇතුළුවීමට නොදීම නොකළයුතු බවත් එසේ කිරීම වැරදි බවත් ඔහු මාර්තු 23 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ප්‍රකාශ කර සිටියේය.

එසේ පවසා සිටියදීත් ඇඳිරි නීතිය ඉවත් කළ 24 වැනිදාත් මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබිණි.

මුඛ ආවරණ නොපැලඳ සිටින අයව අගතියට පත් නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දුන් බව අද (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

නීරෝගී සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ නොපැලදීම වරදක් සේ සලකා කටයුතු නොකරන ලෙස ඒ මහතා පොලිසියෙන් ඉල්ලා සිටී.

අද (26) මේ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයාට ලිපියක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව දැනුම් දී ඇත.

දැනට මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරනු ලබන්නේ රෝගීන් යැයි සැක පුද්ගලයන්, ඔවුන් සමඟ ළඟින් ඇසුරු කරන පුද්ගලයන්, රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයන් සහ ශ්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් රෝහලකට යන අවස්ථාවලදි පමණක් බව අනිල් ජාසිංහ මහතා පවසයි.

එම ලිපියේ සම්පූර්ණ කරුණු පහත දැක්වෙයි

මේ දිනවල මුඛ ආවරණ පිළිබඳ වැරදි මත/දුර්මත සමාජගත වෙමින් පවතින අතර එය නිවැරදි කරගැනීම සඳහා ඔබගේ සහයෝගය පතන්නෙමු.

එසේ හෙයින් පහත කරුණු පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු

දැනට මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරනු ලබන්නේ, 

  • 1.රෝගීන් යැයි සැක පුද්ගලයන්, 
  • 2.ඔවුන් සමඟ ළඟින් ඇසුරු කරන පුද්ගලයන්
  • 3.රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයන්
  • 4.ශ්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් රෝහලකට යන අවස්ථාවලදි පමණි.

සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ජීවන කටයුතුවලදී මුඛ ආවරණ භාවිතය සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ නොකරයි.

එසේ නිර්දේශ නොකරන්නේ

  • 1.මුඛ ආවරණ වැරදියට භාවිතය මගින් රෝගය බෝවීම වැඩිවීම
  • 2.භාවිත කළ මුඛ ආවරණ තැන තැන බැහැර කිරීම මගින් රෝගය පැතිර යාම වැඩිවීම
  • 3.තමා ළඟ ඇති මුඛ ආවරණ අත්‍යවශ්‍ය වූ අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා තබාගැනීම

රෝගය බෝවීම සහ පැතිරීම වැළැක්වීම සඳහා සුදුසුම ක්‍රම වන්නේ,

1.දෙදෙනෙකු අතර පරතරය අවම වශයෙන් මීටර් 1ක්වත් පවත්වාගෙන යෑම

2.නිතර සබන් යොදා තත්පර 20ක් පමණ අත් සේදීම

3.අපිරිසිදු අත්වලින් ඇස්, නහය සහ කට නොඇල්ලීම

4.කහිනවිට කිවිසින විට වැළමිටේ ඇතුල් පැත්තෙන් නහය හා කට ආවරණය කරගැනීම වැනි මූලික කරුණු මගින් රෝගය බෝවීම අවම කරගත හැකි නිසාය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිරෝගී පුද්ගලයකු සඳහා මුඛ  ආවරණ භාවිතය නිර්දේශ නොකළද, කෙනෙකු මුඛ ආවරණ භාවිත කිරීමට තීරණය කළහොත් එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත නම් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිවිටකත් එයට බාධා නොකරයි.

නමුත් නිරෝගී සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිත නොකිරීම වරදක් ලෙස සලකා ඔවුනට කිසිදු හානියක් නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉතා කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

මේ අවස්ථාවේ නිරෝගී සාමාන්‍ය පුද්ගලයන් මුඛ ආවරණ භාවිතය පිළිබඳ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද වැඩිදුරටත් පවසමි.

මෙසේ සිදු කිරීමට හේතුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මෙසේ පහදයි.

Surgical Masks හෙවත් ශල්‍යාගාර මුඛ ආවරණ නිර්මාණය කර ඇත්තේ අරමුණු දෙකක් ඉෂ්ට කරගැනීමටයි. 

1. රෝගයක් සහිත පුද්ගලයෙකුගේ  හෝ ශල්‍යාගාරයක සිටින සෞඛ්‍ය සේවකයෙකුගේ මුඛයෙන් හා නාසයෙන් පිටවිය හැකි විෂබීජ තමා සමීපයේ සිටින පුද්ගලයෙකුට හෝ ශල්‍යකර්මයට භාජනය වන රෝගියාගේ ශරීරය තුළට ඇතුළුවීම වැලක්වීමට. 

2. ශල්‍යාගාර මුඛ ආවරණයෙහි පිටත ඇති ජල ප්‍රතිරෝධී ආවරණය නිසා එය මතට ලේ බිඳිති හෝ විෂබීජ සහිත දියර බිඳිත්තක් වැටුනහොත් එය පැළඳ සිටින පුද්ගලයාගේ මුඛය සහ නාසය වෙතට සම්ප්‍රේෂණය වීම වැලැක්වීමට. 

ශ්‍රී ලංකාවේ මේ වන විට, සමාජය තුළ හඳුනා නොගත් පුද්ගලයින් හරහා COVID-19 රෝගය සම්ප්‍රේෂණයක් සිදුවීම හෙවත් ‘Active Commiunity Transmission’ සිදු වන්නේ නැත. 

ශල්‍යාගාර මුඛ ආවරණයක් සාමාන්‍යයෙන් එක් වරක් පමණක් පැලඳිය හැකි අතර එය නැවත නැවත සෝදා භාවිතා කළ හැකි දෙයක් නොවේ. එලෙස කිරීම මගින් අපේක්ෂිත ආරක්ෂාව කිසිවිටෙකත් ලබාගත නොහැක.

මෙම අවස්ථාවේ දී ශල්‍යාගාර මුඛ ආවරණ අවභාවිතා කර, මෙම සීමිත සම්මත අවසන් කිරීම මඟින් සිදු වන්නේ,  ඔබට අනාගතයේ යම් දිනයක COVID -19 රෝගය වැළඳුනහොත්, ඔබ ඇසුරු කරන ඔබගේ දෙමාපියන් ආදරණීයන්  ඇතුළු අධි අවදානම් පුද්ගලයන්ට රෝගය බෝවීම වැළැක්වීමට පැළඳිය යුතු මුඛ ආවරණය සොයා ගැනීමට නොහැකි වීමයි. ඔබ මෙන්ම වෙනත් රෝගී පුද්ගලයෙකු සඳහාද මෙවැනි මුඛ ආවරණයක් අවශ්‍ය විටදී නොමැති වුවහොත්, එම පුද්ගලයාගෙන් ඔබට රෝගය වැළඳීම වැළැක්වීමටද අපහසු වනු ඇත. 

නිසි ප්‍රමිතියට සාදන ලද ‘ශල්‍යාගාර මුඛ ආවරණ’ සීමිත සම්පතක් වන අතර එය පරිස්සමෙන් සහ වගකීමෙන් භාවිතා කිරීම අප සියලු දෙනාගේම යුතුකමකි. 

මෙම රෝගය තරාතිරම්, ඇති නැති කම් බලා වැළඳෙන රෝගයක් නොවන අතර, රටක් ලෙස අප සියලු දෙනාම එකමුතු වී ජයගත යුතු වසංගතයකි. 

‘වගකීම් විරහිත පරිභෝජනය’ තුලින් මුළු රටක් අගතියට පත් නොකොට, පුද්ගල දුරස්ථභාවය සහ දෑත් පිරිසිදුව තබා ගැනීම මගින් මෙම රෝගය පැතිරීම වැළැක්වීමට සහයෝගය ලබාදෙන්න.

යම්කිසි අවස්ථාවක දී ශ්‍රී ලංකාව තුළ සමාජය හරහා රෝගය පැතිරීමේ අවදානමක් ඇති වුවහොත්, ඒ පිළිබඳව ඔබ සියලු දෙනා ක්ෂණිකව දැනුවත් කරන අතර, එම අවස්ථාවේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට බැඳී සිටිමු.

Share