කොරෝනා මර්දනයට පක්ෂ විපක්ෂ නායකයෝ එක්වෙති

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 03. 2020 | 6.44pm
කොරෝනා මර්දනයට පක්ෂ විපක්ෂ නායකයෝ එක්වෙති

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යන කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම නතර කිරීමට අවශ්‍ය සියලු සහයෝගයන් ලබා දෙන බව දේශපාලන පක්ෂ නායකයෝ අද (24) පැවසූහ.

ඔවුන් මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ දී අද පැවැත්වූ පක්ෂ නායකයන්ගේ හමුවක දී ය.

පවතින තත්ත්වය හමුවේ සර්ව පාක්ෂික හමුවක් කැඳවන ලෙස හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා තිබිණි. 

පවතින තත්ත්වය හමුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අදහස් ලබා ගැනීම වැදගත් බැවින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම පක්ෂ නායකයන්ගේ හමුව කැඳවූ බව ප්‍රකාශකයෙක් පැවසීය.

සතොස හා සමුපකාරය මගින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සලසා ඇති බවත් ඉදිරියේදී එම යාන්ත්‍රණය තව දුරටත් විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ජනතාව ඒකරාශී වීම වැළැක්වීමට ඇදිරි නිතිය තවදුරටත් ක්‍රියාත්මක කරන අතරේ අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින්ගේ නිවාඩු තව දුරටත් දීර්ඝ කරන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

ආර්ථීකයට වන හානිය අවම කරගනිමින් පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකම් පුළුල් කරන ලෙස  හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඉල්ලා සිටියේය.

ඇදිරි නීතිය සමයේ ධීවරයින්ගේ මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය හා ප්‍රවාහනය සඳහා අවසර නොදීම හේතුවෙන් පැන නැග ඇති තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී පක්ෂ නායකයින් පෙන්වා එම අවස්ථාවේ පෙන්වා දුන් අතර එම ගැටලුව විසඳීම සඳහා පොලිස් ස්ථාන දැනුම්වත් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදුවන හානිය සම්බන්ධවත් මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඉදිරියේදී ආර්ථික හානිය අවම කර ගැනීම පිළිබඳවත් පක්ෂ නායකයෝ සාකච්ඡා කළහ.

මෙම තත්ත්වය හමුවේ වහාම පාර්ලිමේන්තුව කැඳවා අවශ්‍ය අරමුදල් වෙන් කර ගැනීමට කටයුතු කරන ලෙස පක්ෂ නායකයෝ කිහිප දෙනෙක්ම ඉල්ලා සිටියහ.

පක්ෂ බේදයකින් තොරව ව්‍යසනයෙන් රට ගොඩ ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බව පක්ෂ නායකයෝ ප්‍රකාශ කළහ.  ඒ අනුව ඉදිරියේදී පක්ෂ නායකයින් හමුවෙමින්, කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් යෝජනා ලබා ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන,  එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු කතානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ,   

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, පී.දිගම්බරන්, මනෝ ගනේෂන්, ඩග්ලස් දේවානන්ද, සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, එම්. සුමන්දිරන්, රිෂාඞ් බදුර්දින්, විජිත හේරත් ඇතුළු පිරිසක් සහභාගී වූහ.







ඡායාරූප - අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි

Share