යුරෝපා ජනගහනයෙන් 60%ක් මරා දැමූ බිහිසුණු කළු මරණ වසංගතය

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 03. 2020 | 6.14pm
යුරෝපා ජනගහනයෙන් 60%ක් මරා දැමූ බිහිසුණු කළු මරණ වසංගතය

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට 15000කට අධික පිරිසක් මියගොස් සිටිති. මේ හේතුවෙන් ලොව රටවල් රැසක් වසා දමා මිලියන ගණන් ජනතාවක් නිවෙස්වල සිරවී සිටිති. තවත් දහස් ගණනක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටිති.

දෙසැම්බර් අග චීනයේ වුහාන් සිට පැතිරීම ආරම්භ වූ කොරෝනා වෛරසයේ ආරම්භය ගැන මේ වන විට විවිධ මත පළ වී තිබේ.

කොරෝනා මෙන්ම භයංකර වූ වසංගතයක් 14 වැනි සියවසේ දී ලෝකය පුරා ව්‍යාප්තව ගිය අතර එයින් මිලියන සංඛ්‍යාත ජනතාවක් මරණයට පත්වූහ.


එය ලෝකයා පුරා හැඳින්වූයේ Black death  හෙවත් කළු මරණ වසංගතය ලෙසයි. එය මහාමාරිය වසංගතයේ ප්‍රබේදයකි.

1346-1353 කාලය තුල පැතිරුණ මෙම 'කළු මරණය' (Black death) නම් විනාශකාරී මාරාන්තික රෝගයෙන් වැඩි හරියක් බලපෑම ඇතිවූයේ යුරෝපා ජාතිකයෝය.  

මෙය බුබෝනික් (Bubonic) වසංගත තත්ත්වයක් වූ අතර එය යර්සිනියා පෙස්ටිස් ( Yersinia pestis ) නම් බැක්ටීරියාව නිසා ඇති වූ රෝගයක් ලෙසට හඳින්වෙයි.  නිවාසවල සිටි මීයන්ගෙන් මෙම රෝගය ආසාදනය වී මෙම රෝගී තත්ත්වය ඇතිවූ බව කියති.

මීට වසර 600 කට පමණ පෙර 'කළු මරණය' එසේත් නැත්නම් මහාමාරිය මුලින් ම ආරම්භ වූයේ මධ්‍යම ආසියාවේ ය. සමහර විද්‍යාඥයින් කියා සිටින්නේ එය මුලින් චීනයෙන් හමු වූ බවයි.නමුත් එය එය කසකස්තානයෙන් පැමිණ ඇති බවටත් මතයක් පවතී.

එය බොහෝ දුරට ව්‍යාප්ත වී ඇත්තේ මීයන් මත ජීවත් වන මැක්කන්ගෙන් වන අතර එය ජෙනොවිස් වෙළෙඳ නැම් කර මධ්‍යධරනී ද්‍රෝණිය පුරා පැතිරී ඉතාලි අර්ධද්වීපය හරහා යුරෝපයේ සෙසු ප්‍රදේශවලට ද ළඟා විය. 


මේ නිසා යුරෝපයේ ජනගහනයෙන් 30% සිට 60% දක්වා මිය යන්නට ඇතැයි පැවසේ.  14 වැනි සියවසේදී ලෝක ජනගහනයෙන් මිලියන 475 සිට 350-375 දක්වා මෙම වසංගතය නිසා අඩුවී සඳහන් වේ.

මෙම රෝගයේ සුලභව දක්නට ලැබුණු රෝග ලක්ෂණ වන්නේ අධික උණ, හිසරදය, රුධිර වමනය, ඉඟටිය, බෙල්ල හා කකුල් ප්‍රදේශවල විශාල ගෙඩි (වසා ගෙඩි වැනි) හට ගැනීමයි.  

ආසාධිතයන්ගෙන් බොහෝ පිරිසක් දින දෙකත් හතත් අතර කාලයේ දී මිය ගියහ. මැක්කන් දශ්ඨ කිරීම නිසා ඇති වූ ලප හා දද මෙම වසංගතයේ තවත් රෝග ලක්ෂණයක් විය. 

රෝගය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ බවට බොහෝ මූලාශ්‍ර සඳහන් කරක අතර ඇතැම් මූලාශ්‍ර සඳහන් කරනුයේ බුබෝනික් (Bubonic) වසංගතය පුද්ගලයාගෙන් පුද්ගලයාට සෘජුවම පැතිරී ඇත්තේ කලාතුරකින් බවයි. 

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ මෙලෙසිනි.

‘’මහාමාරිය ඇතිවන්නේ සාමාන්‍යයෙන් ක්ෂීරපායින් හා ඔවුන්ගේ මැක්කන් තුළ දක්නට ලැබෙන බැක්ටීරියාවක් වන යර්සීනියා පෙස්ටිස් විසිනි.

Y පෙස්ටිස් ආසාදිත පුද්ගලයින් බොහෝ විට දින 1 සිට 7 දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මාහාමාරියා ආසාදන වල ප්‍රධාන  ආකාර දෙකක් තිබේ. බුබොනික් සහ නියුමොනික් ඒ දෙකයි.

බුබොනික් වසංගතය වඩාත් සුලභ  වන අතර අතිශය වේදනාකාරී ඉදිමුණු වසා ගැටිති (බුබෝ) ප්‍රධාන ලක්ෂණය වේ.

ආසාදිත මැක්කන් දෂ්ට කිරීම, ආසාදිත පටක සමඟ සම්බන්ධ වීම සහ ආසාදිත ශ්වසන බිඳිති ආශ්වාස කිරීම මගින් සතුන් සහ මිනිසුන් අතර මහාමාරිය සම්ප්‍රේෂණය වේ.

මහාමාරිය යනු කුඩා ක්ෂීරපායීන් හා මැක්කන් තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සත්ව විද්‍යාත්මක බැක්ටීරියාවක් වන යර්සීනියා පෙස්ටිස් නම් බැක්ටීරියාව නිසා ඇතිවන බෝවන රෝගයකි.  එය සතුන් අතර මැක්කන් හරහා සම්ප්‍රේෂණය වේ.  
 
මිනිසුන් තුළ වසංගතය ඉතා දරුණු රෝගයක් විය හැකි අතර, බුබොනික් වර්ගය සඳහා මාරාන්තික අනුපාතය 30% සිට 60% 
දක්වා වන අතර, ප්‍රතිකාර නොකළ විට ඇතිවන නියුමෝනියා මහාමාරිය සෑම විටම මාරාන්තික වේ.

ප්‍රතිජීවක ඖෂධය මෙම බැක්ටීරියා වලට එරෙහිව ඵලදායී වේ, එබැවින් මුල් රෝග විනිශ්චය සහ මුල් ප්‍රතිකාර මගින් ජීවිත බේරා ගත හැකිය.

2010 සිට 2015 දක්වා ලොව පුරා රෝගීන් 3248 ක් වාර්තා වී ඇති අතර මරණ 584 ක් වාර්තා වී තිබේ. වර්තමානයේ වඩාත්ම ආවේණික රටවල් තුන වන්නේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, මැඩගස්කරය සහ පේරු ය.

නිරෝධායනය ක්‍රියාත්මක කිරීම තුළින් මෙම වසංගතය ද අවසන් වූ බව කියැවේ.

ආසාදිතයින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටි අතර අවශ්‍ය විටෙක පමණක් ඔවූහු පිටව ගියහ. බොහෝ අය වඩාත් ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවත්ව වැඩි හුදෙකලාව ජීවත් වූහ.

මළ සිරුරු ගණන ඉතා වැඩි නිසා භූමදානය කරනවාට වඩා ආදාහනය කිරීම සිදු කෙරිණි.
සමහර රටවල අවමගුල් කිරීමට අපහසු වන තරමට ජීවත්ව සිටි ජනතාවට වඩා මළ සිරුරු වැඩි වූ බව සඳහන් වෙයි.  


කළු මරන වසංගතය නිසා 14 වැනි සියවසේ  වසංගතය හේතුවෙන් ජනගහනය අඩුවීම නිසා ශ්‍රමබලකාය අඩුවිය. එම නිසා ශ්‍රම හිඟයට ප්‍රතිචාර වශයෙන්  ඉහළ වැටුපක් හිටපු ශ්‍රමිකයන්ට ගෙවීමට සිදුවිය.

මෙම දරුණු වසංගතය හේතුවෙන් ජන විකාශනය අඩුවී ආර්ථිකමය වශයෙන් දරුණු ප්‍රතිවිපාක ඇති විය. 1350-1400ත් අතර යුරෝපයේ බොහෝ ප්‍රදේශවල ආහාර මිල පහත වැටුණු අතර ඉඩම් වටිනාකම සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබිණි.

එක් එක් මිනිස් සිරුරු කෙරෙහි සමස්ත බලපෑම මුළුමනින්ම වෙනස් වුවද සනීපාරක්ෂාව කළු මරණය පැතිරුණ ආකාරය පිළිබඳ ප්‍රධාන සාධකයකි. කොරෝනා වෛරසය රෝගීන්ට කැස්ස, අධික ශරීර උෂ්ණත්වය සහ  කැක්කුම් ඇති වන අතර 'කළු මරණය' ආසාදිත පුද්ගලයින්ට වසා ගැටිති, උණ සහ රුධිර වමනය වැනි විවිධ තත්වයන් ඇති විය.

මෙම රෝග දෙකම මිනිසුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර එයින් අදහස් කරන්නේ කැස්ස, කිවිසුම් යාම සහ හුස්ම ගැනීම මගින් ඒවා බෝවන බවයි.


කළු මරණයෙන් යුරෝපයේ ජනගහණයෙන් සියයට 60ක් පමණ මිය ගියා සේම කොරෝනා වසංගතයෙන් ඉතාලියේ සුව වූ ප්‍රතිශතයට සාපේක්ෂව සියයට 40ත් 45ත් අතර පිරිසක් මේ වන විට මිය ගොස් සිටිති. තත්ත්වය ඒ තරම් දරුණුය. කළු වසංගතය ගැන සිතා හෝ දැන් කොරෝනා වෙත දක්වන අවධානය වැඩි කළ යුතුය. නැතිනම් කොරෝනා තවත් කළු මරණ වසංගතයක් වනු ඇත.

Share