උණ-හෙම්බිරිස්සාව-කැස්ස ඇති අයට දැනුම්දීමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 03. 2020 | 8.21pm
උණ-හෙම්බිරිස්සාව-කැස්ස ඇති අයට දැනුම්දීමක්

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, කැස්ස වැනි රෝග ලක්ෂණ ඇත්නම් ගත යුතු පියවර කිහිපයක් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය උපදෙස් ලබාදෙයි.

මේ රෝග ලක්ෂණ තිබූ පමණින් කොරෝනා වෛරසය ආසාදිත යැයි සිතිය නොහැකි නමුත් කොරෝනා රෝග ලක්ෂණත් මේවාම වන බැවින්  ආදරණීයයන්ගේ ආරක්ෂාව පිණිස මෙම පියවර අනුගමනය කළ යුතු බවත් මෙය පුරවැසියෙකු ලෙස ජාතික වගකීමක් බවත් එම කාර්යංශය පවසයි.

වඩාත්ම වැදගත් දෙය නම් පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම් හෝ කොරෝනා ආසාදිතයෙකු හෝ එසේ සැක කළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඉල්ලා සිටී. 

1999 උපදෙස් සේවාව ඇමැතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවද ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන ලෙසත් සඳහන් වෙයි.

වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මිස වෙන කිසිදු කාරණයක් සඳහා නිවසින් පිටව නොයන ලෙසත් එම කාර්යංශය දැනුම් දෙයි.

නිවසේදී අනුගමනය කළ යුුතු උපදෙස්

1. හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න

2. අනෙකුත් නිවැසියන් සමග මීටරයකට වැඩි දුරක් පවත්වා ගන්න

3. හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න. 

4. නිවසට ආගන්තුකයන් ගෙන්වා නොගන්න.

5. ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන් ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.

6. තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න.   

7. කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද  ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.

9. ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න. 

Cover Photo: සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය

Share