රාගම කොරෝනා රෝගියාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 20. 03. 2020 | 5.35pm
රාගම කොරෝනා රෝගියාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරයි

තමා ඉතාලියේ සිට පැමිණි බව වසං කරමින් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් වූ කොරෝනා ආසාධිත රෝගියාට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මූලස්ථානය කියයි.

හිතා මතා රෝගයක් පැතිරවීම සහ නිරෝධායන නියෝගයන්ට අකීකරුවීම යන චෝදනා යටතේ එම රෝගියාට විරුද්ධව කරුණු වාර්තා කළ බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් MediaLK.com වෙත පැවසීය.

ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන බැවින් ඔහුගේ තත්ත්වය සුව අතට හැරුණු පසු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම නිලධාරියා සඳහන් කළේය.

නිරෝධායන නියෝග කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම රෝගියා තමා විදේශගතව සිට මෑතකදී පැමිණි බව නොපවසා වෙනත් රෝගයක් ඇතැයි කියමින් රෝහල් ගත වී ඇති බවත්, ඔහුට ඔහු ප්‍රකාශ කළ ආකාරයේ රෝගයක් නැතැයි තහවුරු කර ගත් බවත්, පසුව ඔහුගේ ඥාතීන්ගෙන් විමසද්දී ඔහු මෑතක සිට විදේශගතව පැමිණි බව තහවුරු වූ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

පසුව මෙම රෝගියා සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් පසු ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව ද එම ආරංචි මාර්ග පවසයි.

Share