මැතිවරණය කල්දැමීම අනවශ්‍යයි-ඇඳිරි නීතිය පැනවීමට තීරණයක් නෑ - ඩොනල්ඩ් ට්‍රම්ප්

Staff Writer | Author . Translate to English or தமிழ் 17. 03. 2020 | 2.10am
මැතිවරණය කල්දැමීම අනවශ්‍යයි-ඇඳිරි නීතිය පැනවීමට තීරණයක් නෑ - ඩොනල්ඩ් ට්‍රම්ප්

මේ වන තෙක් රටපුරා නිරෝධායනයක් හෝ ඇඳිරි නීතිය පැනවීමේ සැලසුමක් නොමැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි.

ඔහු කියා සිටියේ පරිපාලනය සමහර වැඩිපුර අසාදිත ස්ථාන දෙස බලා තීරණ ගත හැකි නමුත් රටපුරා නිරෝධායනයක් හෝ ඇඳිරි නීතිය පැනවීමට සැලසුම් කර නොමැති බවයි.

වෛරසය නිසා මැතිවරණය කල්දැමීම “අනවශ්‍ය” බව ද ට්‍රම්ප් මහතා කීය.

ඔහියෝහි රිපබ්ලිකන් ආණ්ඩුකාරවරයා අඟහරුවාදා පැවත්වීමට නියමිත ප්‍රාථමික මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව මැතිවරණය ප්‍රමාද කිරීම  “අනවශ්‍ය” බැවින් ප්‍රාථමික මැතිවරණය කල් දැමීමට තමා ප්‍රාන්තවලට උපදෙස් නොදුන් බව ජනාධිපති ට්‍රම්ප් පැවසීය.

ඔහියෝ ආණ්ඩුකාර මයික් ඩිවයින් කියා සිටියේ එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුකූලව ඡන්ද විමසීම් පැවැත්විය නොහැකි බැවින් අඟහරුවාදා ප්‍රාථමික මැතිවරණ කටයුතු කල් දැමීම දකිනු කැමති බවයි.

මීට පෙර, ලුසියානා සහ ජෝර්ජියාව නිවේදනය කළේ ඔවුන්ගේ ප්‍රාථමික මැතිවරණ කටයුතු කල් දමන බවයි.

 “මම හිතන්නේ මැතිවරණය කල් දැමීම එතරම් හොඳ දෙයක් නොවේ,” ට්‍රම්ප් පැවසීය.  "මම හිතන්නේ කල් දැමීම අනවශ්‍යයි."

කොරෝනා වසංගතය අතරතුර ධවල මන්දිරය ඇමරිකානුවන් සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

එය “ඇමරිකාව සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ කොරෝනා වෛරස් මාර්ගෝපදේශ: පැතිරීම මන්දගාමී කිරීමට දින 15 ක්” යන මාතෘකාව යටතේ නිකුත් කර තිබේ.

10 දෙනකුට වැඩි කණ්ඩායම් වශයෙන් එක්රැස් වීමෙන් වැළකී සිටිය යුතු බව එහි දැක්වෙයි.

මිනිසුන් බාර් අවන්හල් සහ ආපන ශාලාවලින් ඇත්ව සිටිය යුතු අතර හැකි නම් සංචාරය නොකිරීමට වගබලා ගත යුතු බවද එහි සඳහන් වෙයි.

බහුලව ජනතාව ගැවසෙන බාර්, අවන්හල් සහ වෙනත් පොදු ස්ථාන වසා දැමිය යුතු බව ද මාර්ගෝපදේශ වල සඳහන් වේ. 

ෆිලඩෙල්ෆියා සහ සැන් ෆ්රැන්සිස්කෝ ඇතුළු නගර කිහිපයක් සහ මේරිලන්ඩ් ඇතුළු ප්‍රාන්තයන් මේ වන විටත් හවස් වන විට බාර් සහ අවන්හල් වසා දැමීමට නියෝග නිකුත් කර තිබේ.

එක්සත් ජනපදයේ අවම වශයෙන් කොරෝනා රෝගීන් 4,008ක් සිටින බව රාජ්‍ය හා ප්‍රාදේශීය සෞඛ්‍ය ආයතන,  සහ එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

එරට කොරෝනා රෝගීන් 70 දෙනෙකු මියගොස් තිබේ.

කිසිදු තහවුරු කළ සිද්ධියක් නොමැති එකම එක්සත් ජනපද රාජ්‍යය බටහිර වර්ජිනියාවයි.

CNN ඇසුරෙන් 

Cover Photo : Evan Vucci/AP

Share