"අත්‍යවශ්‍ය කරුණකට හැර ආගමන විගමන දෙපාර්තමේන්තුවට එන්න එපා"

Staff Writer | Author . Translate to English or தமிழ் 15. 03. 2020 | 11.48pm
"අත්‍යවශ්‍ය කරුණකට හැර ආගමන විගමන දෙපාර්තමේන්තුවට එන්න එපා"

අත්‍යාවශ්‍ය කාරණයකට හැර ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

විදේශ රටවලින් මෙරටට පැමිණෙන්නන් සීමා කර ඇති අතර අත්‍යාවශ්‍ය කරුණකට හැර විදේශ සංචාරයෙහි නොයෙදෙන ලෙසද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  පාලක ජනරාල් සරත් රූපසිරි මහතා පවසයි.

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් -19 විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගමන් බලපත්‍ර සහ වීසා ලබා ගැනීම වැනි කටයුතු සඳහා දිනකට පුද්ගලයින් 5000ක පමණ පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන බවත්, මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් අත්‍යාවශ්‍ය කාරණයකට මිස ආගමන විගමන දෙපාර්තමේන්තුවට නොපැමිණෙන්නැයි ඒ මහතා ඉල්ලා සිටී.

බත්තරමුල්ල පිහිටි සුහුරුපාය ගොඩනැගිල්ලේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ජනතාවට සේවය සපයන දෙපාර්තමේන්තු රැසක් ඇති අතර එම පරිශ්‍රයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රැඳී සිටින බවත් අසනීප තත්වයේ පසුවන්නන් ඒ මොහොතේම ඔවුන්ට යොමු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 

Share