නිරෝධායනයෙන් වැළකීම දඬුවම් ලැබිය හැකි වරදක්

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 03. 2020 | 11.29am
නිරෝධායනයෙන් වැළකීම දඬුවම් ලැබිය හැකි වරදක්

ලංකාවේ නිරෝධායන පනත ඉතාම බලසම්පන්න එකක් බවත්  ඊට අනුව, නිරෝධායනයට යොමු කරන ලද පුද්ගලයෙක් එයට පරිබාහිරව කටයුතු කළහොත් දඬුවම් පැමිණවීමට බලතල ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ශ්‍රී ලාංකිකයන් ලෙසට මෙම නිරෝධායන ක්‍රියාවලියට  පූර්ණ සහයෝගය ලබාදිය යුත්තේ ඒ සඳහා නීතියෙන් බැඳී සිටින නිසාම පමණක් නොව එය තම තමන්ගේ ආදරණීයන්ගේ ආරක්ෂාවට ද ඉතාමත්ම වැදගත් නිසා බවත් එම කාර්යංශය එහි නිල ෆේස්බුක් පිටුව හරහා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

එම නිවේදනයේ මෙසේද දැක්වෙයි.

ඇත්තටම මේ නිරෝධායනය කියන්නේ කුමක්ද?

නිරෝධායනය එහෙම නැත්නම් quarantine, කියන ක්‍රියාදාමයේදී සිද්ධවෙන්නේ යම් රෝගකාරකයකට යම් කිසි හෝ අවස්ථාවක නිරාවරණය වී තිබීමට ඉඩ ඇති පුද්ගලයින් සමාජයේ අනිත් පුද්ගලයන් අතර ගැවසීම හැකිතාක් දුරට අවම කිරීමේ ක්‍රියාවලියක්. 

කෙනෙක් යම්කිසි රෝග කාරකයට නිරාවරණය වී යම් කාලයක් ගතවනතුරු රෝග ලක්ෂණ පිටතට නොපෙනී රෝගකාරකය ශරීරයේ තිබෙන්නට පුළුවන්. මෙය ‘බීජෞෂණ’ (Incubation Period) කාලය ලෙස හැඳින්වෙනවා. Corona රෝග තත්ත්වය බීජෞෂණ කාලය තුළ ද අනෙක් අයට සම්ප්‍රේෂණය වීමට ඉඩ කඩ තියෙනවා. 

රෝග ලක්ෂණ නොමැති වුවද රෝගකාරකයට නිරාවරණය වී තිබීමට ඉඩ ඇති පුද්ගලයින් නිරෝධායන කිරීමට හේතුව මෙයයි. 

ලංකාවේ නිරෝධායන පනත ඉතාම බලසම්පන්න එකක්.  ඊට අනුව,  නිරෝධායනය ට යොමු කරන ලද පුද්ගලයෙක් එයට පරිබාහිරව කටයුතු කළහොත්,  දඬුවම් පැමිණවීමට බලතල ලැබී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් ලෙසට අප මෙම නිරෝධායන ක්‍රියාවලියට අපගේ පූර්ණ සහයෝගය ලබාදිය යුත්තේ අප ඒ සඳහා නීතියෙන් බැඳී සිටින නිසාම පමණක් නොව එය අපගේ ආදරණීයන්ගේ ආරක්ෂාවට ද ඉතාමත්ම වැදගත් නිසාය


Share