ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛයාව 06 දක්වා ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 13. 03. 2020 | 7.20pm
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛයාව 06 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 03 දෙනෙකු අද(13) හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ සමග ශ්‍රී ලංකාවේ තහවුරු කෙරුණ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගොස් තිබේ.(පෙර තහවුරු වූ චීන කාන්තාවත් ඇතුළුව)

බෝවන රෝග පිළිබඳ විද්‍යාතනය අද (13) උදැසන 10ට නිකුත් කළ නිවේදනයක සඳහන් කෙරුණේ කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 64 දෙනකු අතරින් තිදෙනකු පමණක් කොරෝනා ඇති බවට තහවුරු වී ඇති බවයි.

ඉන් එක් රෝගියකු වූ චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවත් එම නිවේදනයේ දැක්වෙයි.

පසුව අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ තවත් රෝගීන් තිදෙනකු කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වූ බවයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ තහවුරු කෙරුණ රෝගීන් සංඛ්‍යාව 06කි.

අද සවස තහවුරු කෙරුණු රෝගීන් තිදෙනාගෙන් දෙදෙනකුම ඉතාලියේ සිට ලංකාවට පැමිණ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයේ සිටි දෙදෙනකු බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඉන් එක් අයෙකු අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙක් පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනෙක් පුද්ගලයා ජර්මනියේ සිට සංචාරය කර ලංකාවට පැමිණි පුද්ගලයකු වන අතර මේ වන විට අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබයි. 

කොරෝනා ඇති බවට සැක 64 දෙනාගෙන් 10ක් අයිඩීඑච් රෝහලේත් අනෙක් රෝගීහූ දිවයින පුරා රෝහල් 14කත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති.


Share