සියලු රජයේ පාසල් හෙට සිට වසා දැමෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 12. 03. 2020 | 2.30pm
සියලු රජයේ පාසල් හෙට සිට වසා දැමෙයි

කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා හෙට(13) සිට අප්‍රේල් 20 දක්වා රජයේ පාසල් නිවාඩු දීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම සම්බන්ධයෙන් දෙමාපියන් තුළ ඇතිවී ඇති කැළඹිලි සහගත තත්ත්වය ගැන සළකා බලා මෙම තීරණය ගත් බව ද ඒ මහතා කීය.

එම තීරණය ගැන සංවේදී වන්නැයි තමන් ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

පෞද්ගලික පාසල් සහ ටියුෂන් පන්ති හිමිකරුවන්ට ඇමතිවරයාගෙන් ඉල්ලීමක් 

පෞද්ගලික පාසල් හා උපකාරක පන්තිවලට ද නිවාඩු ලබාදෙන ලෙස එම පාසල් හිමියන්ගෙන් හා පන්ති පවත්වන ගුරුවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසීය.

හෙට (13) සිට අප්‍රේල් 20 වැනිදා දක්වා නිවාඩු ලබාදෙන්නැයි ඒ මහතා ඉල්ලා සිටියේය.

ඉල්ලීමක් මිස නියෝගයක් හෝ බලපෑමක් කිරීමට තමන්ට හැකියාවක් නැතැයි ඇමැතිවරයා පැවසීය.

ක්‍රිකට් මහා තරග පැවැත්වීම ගැන තීරණ ගැනීමේ වගකීම එම පාසල්වල විදුහල්පතිවරුන්ට පැවරෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කතෝලික පාසල් වසා දමයි

මීට අමතරව කොළඹ සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් ද වසා දැමීමට ද කොළඹ කතෝලික අධ්‍යාපන කාර්යාලය තීරණය කර තිබේ.

දහම් පාසල් ද අප්‍රේල් 26 දක්වා වසා දැමීමට තීරණය කර ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

Share