ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලාංකික පළමු කොරෝනා රෝගියා හමුවෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 11. 03. 2020 | 8.04am
ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලාංකික පළමු කොරෝනා රෝගියා හමුවෙයි

ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලාංකික පළමු කොරෝනා රෝගියා අද (11) තහවුරු වූ බවත් ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වයස 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙක් බවත් මෙරට ජනතාව හැසිරෙන අන්දම ගැන සිතා ඔහුගේ පදිංචි ලිපිනය ආදී තොරතුරු ලබා දීමට අකමැති බවත් ඒ මහතා පැවසීය.

ඉතාලි ජාතිකයින් පිරිසකට ඔහු මගපෙන්වා ඇතැයි ද ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇති බවත් ඔහු පවසයි.

මේ වන විට එම රෝගියා නිරෝධායනය කර ඇති බවත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ද ලබාදෙන බවත් ඔහු කීය.

ඔහුගේ පවුලේ උදවිය ඔවුන්ගේ නිවස තුළම නිරෝධායනයට ලක් කර ඇති බවද ඒ මහතා කියයි.

ඔහු ආගිය තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් ගැන සොයා කඩිනමින් විමර්ශනය කරන බවද ඒ අයට අවශ්‍ය  පියවර ගන්නා බවද ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ වන විට අයිඩීඑච් උණ රෝහලට ඇතුළත් කර ඇති බවත් ඒ මහතා කීවේය.

⁣එමෙන්ම ඔහු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි බවත් දඹුල්ල සහ නුවර යන ප්‍රදේශවල සංචාරය කර ඇති බවත් වාර්තා වෙයි.

UPDATE:මාර්තු 11 උදැසන 8.45 AM

මේ වන විට අයිඩීඑච් රෝහලේ සිටින කොරෝනා රෝගියා 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කරන ලද තොරතුරක් බවද එහි දැක්වෙයි.

කොරෝනා වෛරසය මෙරට තුළ පැතිර යාමේ අවදානමක් ඇති හෙයින් එය පාලනය කිරීම සඳහා රජය ගන්නා වැඩපිළිවෙළ සඳහා සහය වන්නැයි ද එම ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලයි.

ඒ අනුව ⁣වෛරසය සීග්‍රයෙන් පැතිරෙන දකුණු කොරියාව,ඉරානය සහ ඉතාලිය සිට මෙරටට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කරන බවත් එලෙස විදේශගතව සිට එන පිරිස් මෙම වැඩපිළිවෙළට සහය දෙන ලෙසත් එම නිවේදනයේ සඳහන් වෙයි.

UPDATE:මාර්තු 11 උදෑසන 8.30 AM

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා රෝගියෙක් අද(11) තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

ඔහු මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ දෙවැනි කොරෝනා රෝගියා සහ කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ සිව්වැනි ශ්‍රී ලාංකිකයාය.

මීට පෙර මෙරටින් චීන කාන්තාවකට කොරෝනා වැළදී ඇති බවට තහවුරූ වු අතර ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට සහ එක්සත් අරාබි එමීර්  රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට වෛරස වැළදී අති බවට වාර්තා විය.

Share