"නිරෝධායන මධ්‍යස්ථානවලින් ප්‍රදේශවාසීන්ට අවදානමක් නෑ"

Staff Writer | Author . Translate to English or தமிழ் 05. 03. 2020 | 3.55pm
"නිරෝධායන මධ්‍යස්ථානවලින් ප්‍රදේශවාසීන්ට අවදානමක් නෑ"

නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම ප්‍රදේශවාසීන්ට කිසිදු අවදානමක් ඇති නොකරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම ප්‍රජාව තුළ වෙසෙන සැමදෙනාගේම ආරක්ෂාව සඳහා ද හේතු වන බව එම කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට හැකි අයුරින් සහයෝගය ලබාදීම කාලීන අවශ්‍යතාවයක් බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

වෛරසය ප්‍රජාව තුළ පැතිරවීම මැඩ පැවැත්වීමට අත්‍යවශ්‍ය පියවරක් වන නිරෝධායන පිළිවෙත ශක්තිමත් කිරීමට නව නිරෝධායන මධ්‍යස්ථාන හඳුනාගැනීම හා ස්ථාපිත කිරීම මේ දිනවල සිදුකරන බව එහි සඳහන්.

එම නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

"මෙහිදී අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන පැනයක් වනුයේ මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම ඒ ප්‍රදේශවල අසල්වාසීන් අවදානම් සහගත තත්ත්වයකට පත්කරයිද යන්නයි.

මේ සඳහා දිය හැකි පැහැදිලිම පිළිතුර වන්නේ COVID-19 රෝගීන් සඳහා එසේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම අසල්වැසියන් හට කිසිසේත් තර්ජනයක් නොවන බවයි."

කොරෝනා වෛරස් රෝගී තත්ත්වය වායුගෝලය හරහා වායු ධාරා මගින් සම්ප්‍රේෂණය වන රෝගී තත්ත්වයක් නොවන බවද එම කාර්යංශය කියයි. 

"මෙය සම්ප්‍රේෂණය වන්නේ ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයේ සහ නාසයෙන් බිඳිති ලෙස පිටවන තරලයන් යම් මතුපිටක් මත තැන්පත්වී එම මතුපිට ස්පර්ශ කරන තවත් පුද්ගලයෙකුගේ දෑත් හරහා එම පුද්ගලයාගේ නාසය මුඛය හෝ ඇස් මතට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමෙනි.

"මෙසේ ආසාදිත පුද්ගලයෙකුගේ කෙළ බිඳිති අවට පෘෂ්ඨයන් මතට ප්‍රක්ශේපණය වීම දක්නට ලැබෙන්නේ කැස්සක් හෝ කිවිසුමක් වැනි අවස්ථාවකදී පවා එම පුද්ගලයා වටා අඩි තුනක් වැනි දුරක් ඇතුළත පමණයි."යැයි එම නිවේදනයේ සඳහන් වේ.

මේ හේතුවෙන් කිසිවිටකත් යම්කිසි රෝගී පුද්ගලයකු තමා අසලින් ගමන් කළ පමණින් හෝ තමා ප්‍රදේශයේ සිටි පමණින් රෝග සම්ප්‍රේෂණයක් සිදු නොවන බව එම කාර්යංශය පෙන්වා දෙයි.

"නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත වීම මෙන්ම ඒවා නිසි පහසුකම් නිසි පරිදි සැපයිය හැකි ස්ථාන වල ස්ථානගත වී තිබීමත් ප්‍රජාව තුළ රෝගය පැතිර යාම මැඩපැවැත්වීමට බොහෝ සේ උපකාර වනවා." යැයි එම නිවේදනයේ දැක්වෙයි.

දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල සිට එන මගීන් සියලු දෙනා දින 14 ක් නිරෝධායනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එහි පළමු නිරෝධායන මධ්‍යස්ථානය ලෙස හැඳල ලාදුරු රෝහල තෝරාගන්නා බවද පසුව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

ඉන්පසුව හැඳල ලාදුරු රෝහල අසල ප්‍රදේශවාසීහු පිරිසක් එම නිරෝධායන ක්‍රියාවලියට විරෝධය දක්වමින් එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළහ. 

මේ අතර මඩකලපුව පුද්ගලික විශ්ව විද්‍යාලය සහ කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ද නිරෝධායනය සඳහා යොදාගැනීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.





Share