'අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය' සහ 'හානි පූරණ' කාර්යාලය දිගටම

Staff Writer | Author . Translate to English or தமிழ் 01. 03. 2020 | 8.36am
'අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය' සහ 'හානි පූරණ' කාර්යාලය දිගටම

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය සහ හානි පූරණය සඳහා වන කාර්යාලය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය හමුවේ පැවසූ බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය මේ බව පැවසීය.

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය සහ හානි පූරණය සඳහා වන කාර්යාලය වැනි පාර්ලිමේන්තු පනත් මගින් ස්ථාපනය කරනු ලැබූ දැනට පවතින ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයන් රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව සුදුසු අනුවර්තනයන් සමඟින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායක ලෙස විදේශ සබඳතා අමාත්‍යවරයා එම සැසිවාරයට සහභාගි විය.

40/1 යෝජනා සම්මුතියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සහ ඒ සඳහා හේතු වූ පදනම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී නැවත අවධාරණය කළ බව එම කාර්යාලය පවසයි.

මෙයට වසරකට පෙර ඔහුගේ පූර්වගාමියා වූ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා විසින්ද යෝජනා සම්මුතියේ සපුරාලිය නොහැකි කරුණු ගණනාවක් පෙන්වා දුන් බව අමාත්‍යවරයා සිහිපත් කර තිබේ.

සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවත් දේශීය විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම තුළින් තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම්වල මුල් බැසගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිත ආයතනවල සහාය ඇතිව අඛණ්ඩව කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

තිරසර සාමය සහ සංහිඳියාව උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ ඇති ඇප කැපවීම ද අමාත්‍යවරයා අවධාරණය කළේය. 

මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ මට්ටමේ රැස්වීමට සහභාගී වීම පිළිබඳව මහ කොමසාරිස් බැචලෙට් මහත්මිය අමාත්‍ය ගුණවර්ධන මහතාට සිය ස්තූතිය පුද කළ බවද එම නිවේදනයේ පැවසේ.

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මුතියෙහි සම අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය කණගාටුව පල කර ඇත.

මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවට මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දුන් සහතිකය සහ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය සහ හානි පූරණය සඳහා වන කාර්යාලය සම්බන්ධ නිරීක්ෂණ සිය ඇගයීමට ලක් කළාය.

යෝජනා සම්මුතිය අවසන් කිරීමේ අවශ්‍යතාවය,ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ග සඳහා ප්‍රමාණවත් අරමුදල් සැපයීම, පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතෙහි අඩුපාඩු සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි (PTA) විධිවිධානවලට අවශ්‍ය සංශෝධන යෝජනා කිරීමේ අදහසින් එම පනතෙහි සමාලෝචනයක් සිදු කිරීමට රජයේ ඇති අපේක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සිය ඉදිරි දැක්ම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළහ.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා වෛරී කතා පැතිරීම සහ සමාජ මාධ්‍ය, තාක්‍ෂණය හා මානව හිමිකම් සහ පරිසරය හා මානව හිමිකම් අනිසි ලෙස භාවිතා කිරීම අතර පවතින සම්බන්ධකය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මුහුණ දුන් අභියෝග පිළිබඳවද මහ කොමසාරිස්වරිය අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කරනු ලැබීය.

එම නිවේදනය පහත දැක්වෙයි.



Share