"ඉම්රාන් ඛාන්ගේ රජය චීනයේ සිටින පාකිස්තාන සිසුන් නොසලකා හරියි"

Staff Writer | Author . Translate to English or தமிழ் 19. 02. 2020 | 8.09pm
"ඉම්රාන් ඛාන්ගේ රජය චීනයේ සිටින පාකිස්තාන සිසුන් නොසලකා හරියි"

චීනයේ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවා තිබේ.

ඒ පසුගිය පැය 24 තුළ මිය ගිය සංඛ්‍යාව 136 කින් ඉහළ යාමෙන් අනතුරුවය.

අවම වශයෙන් මරණ 132 ක් සිදුව ඇත්තේ වසංගතයේ කේන්ද්‍රස්ථානය වූ හුබෙයි පළාතෙන් බව ජාතික සෞඛ්‍ය කොමිසම බදාදා වාර්තා කළේය.

චීනය පුරා, තවත් නව ආසාදිතයින් 1,749 ක් වාර්තා වී ඇති අතර, චීනයේ මුළු ආසාදන සංඛ්‍යාව 74,185 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගීන් 15000ක් සුවය ලබති

කොරෝනා වයිරසය වැළදී සිටි 15,000 කට අධික පිරිසක් සුවය ලබා ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් සිටින චීනයේ සුව වීම් ගැනීම් 14,938 ක් සිදුවී ඇත.

සමහර චීන පළාත්වල සුව වීමේ අනුපාතය 40% දක්වා ඉහළ ගොස් ඇතත්, හුබෙයිහී එම අනුපාතය තවමත් 15% ට වඩා අඩු මට්ටමක පවතී.

ඉරානයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනක් 

කොරෝනා ආසාදිත ඉරානයේ පළමු රෝගීන් දෙදෙනා ද මේ වන විට වාර්තා වී ඇතැයි ISNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනාගේ ජාතිකත්වය පිළිබඳව එම වාර්තාවේ විස්තර කර නොමැත. 

තහවුරු කරන ලද සිද්ධීන් දෙක මධ්‍යම පළාතේ කොම්හිදී අනාවරණය විය.

"ඉම්රාන් ඛාන්ගේ රජය පාකිස්තාන සිසුන් නොසලකා හරියි"

මෙම වෛරසය පැතිරීම මධ්‍යයේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් රජය තමන්ව “නොතකා හරින" බවත් "ප්‍රතික්ෂේප කර ඇති” බවත් චීනයේ වෙසෙන පාකිස්තාන සිසුහූ පවසති.

වුහාන් හි අල් ජසීරා සමඟ අදහස් දක්වමින් වෛද්‍ය ශිෂ්‍ය රාහුතුල්ලා ඛාන් කියා සිටියේ පාකිස්තාන බලධාරීන් වෙත ළඟාවීමට සිසුන් නැවත නැවතත් උත්සාහ කළ නමුත් “වගකිවයුතු පුද්ගලයෙක් අප හා සම්බන්ධ වී නැති” බවයි.

පාකිස්තානුවන් හැර සෙසු රටවලින් සිසුන් ඉවත් කරන බව ඛාන් පැවසීය. 

“ඔවුන් අපට සලකන්නේ අප පාකිස්තානුවන් නොවන ආකාරයටයි,” ඛාන් තවදුරටත් පැවසීය.

ජපානයේ තීරණය ගැන ඇමෙරිකාව අනතුරු අඟවයි

කොරෝනා වයිරසයට ගොදුරු වූවන් රැගත් Diamond Princess නෞකාවේ සිටි සිය ගණනක් මගීන් ජපානය විසින් නිදහස් කිරීම මගින් විශාල අවදානමක් පැන නගින බව එක්සත් ජනපද රෝග පාලන මධ්‍යස්ථානය (CDC) අනතුරු ඇඟවීය.

චීනය ඇමෙරිකානු මාධ්‍යවේදීන් තිදෙනකු නෙරපයි

ඇමෙරිකානු මාධ්‍ය ආයතනයක් වන වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) වාර්තාකරුවන් තිදෙනකුගේ මාධ්‍ය බලපත්‍ර අවලංගු කරන බව චීන රජය අද නිවේදනය කළේය.

චීන නිලධාරීන් පවසන්නේ නෙරපා හැරීමට හේතුව මේ මස මුල දී ප්‍රකාශයට පත් කරන ලද වෝල් ස්ට්‍රීට් ජර්නලයේ “චීනය ආසියාවේ සැබෑ රෝගීයා” (China is the real sick man of Asia) යන මාතෘකාව යටතේ ප්‍රකාශයට පත් කළ වාර්තාවක් නිසා බවයි.

එය කොරෝනා වයිරස් වසංගතයට චීනය දැක්වූ ප්‍රතිචාරය විවේචනය කළ වාර්තාවකි.

චීනය පදනම් කරගත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් වන චීන විදේශ වාර්තාකරුවන්ගේ සමාජය (FCCC) මෙම නෙරපා හැරීම සම්බන්ධයෙන් “දැඩි කනස්සල්ල” ප්‍රකාශ කළ අතර එම තීරණය හෙළා දැක්කේය.

චීනයේ මෙම පියවර "චීනය පදනම් කරගත් වාර්තාකරුවන්ට එරෙහිව පළිගැනීමෙන් විදේශීය ප්‍රවෘත්ති සංවිධාන බිය ගැන්වීමට චීන බලධාරීන් ගත් අන්ත හා පැහැදිලි උත්සාහයක්" යැයි එම කණ්ඩායම පැවසීය.

එෆ්සීසීසීයට අනුව 1998 සිට චීනය විදේශ වාර්තාකරුවෙකු නෙරපා හැර නැත.

Aljazeera | The Guardian | CNN ඇසුරෙන් 

(Cover Photo : Reuters)

Share