ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 02. 2020 | 9.38pm
ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ නියම කර ඇති පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

"2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකරන ලදැයි කියන මානව හිමිකම් උල්ලංගනය කිරීම්, නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් අණ දීමේ වගකීම තුළින් ඔහු සම්බන්ධ බවට විශ්වාසදායක තොරතුරු පවතී"

"7031 (ඇ) වගන්තිය මගින් විදේශ නිලධාරීන් මානව හිමිකම් උල්ලංගනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බවට නියම කළ හැකිය"

"එවැනි නිලධාරීන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කිරීම රාජ්‍ය ලේකම්වරයාට නීතියෙන් නියම කෙරේ. ශවේන්ද්‍ර සිල්වාට අමතරව ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද මෙලෙස එම දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබේ."

"එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ලේඛනගත කර ඇති මානව හිමිකම් උල්ලංගනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වසනීය ය. මානව හිමිකම් උල්ලංගනය කිරීම් සහ අපයෝජනයන් සඳහා ද දඩුවම් නොලැබීම පිළිබඳ අප සැලකිලිමත් වෙමු.

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංගනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම සහ යුක්තිය හා සංහිඳියාව ඇති කිරීම තහවුරු කරන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා රජය සමඟ අපගේ හවුල්කාරිත්වය සහ ශ්‍රී ලාංකික ජනතාව සමඟ අප බෙදා හදා ගන්නා දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අපි බෙහෙවින් අගය කරමු.  එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සහ වර්තමාන හා මතුවෙමින් පවතින තර්ජනවලට මුහුණ දීම සඳහා එහි ආරක්ෂක අංශ නැවත සකස් කිරීමට උදව් කිරීමට කැපවී සිටී.  අපගේ පුහුණුව, ආධාර සහ කටයුතුවල මූලික අංගයක් ලෙස මානව හිමිකම්වලට ගරු කිරීම ආරක්ෂක සහයෝගීතාවය තුළ දිගටම අවධාරණය කෙරෙනු ඇත."

Share