පූජිත්-හේමසිරි ඇප මත මුදාහැරෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 05. 02. 2020 | 10.59am
පූජිත්-හේමසිරි ඇප මත මුදාහැරෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කරයි.

පූජිත ජයසුන්දර ඇප මත මුදාහැරෙයි

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද(05) නියෝග කළේය.

රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඒ මහතා මුදා හැරීමට නියෝග  කෙරිණි.

එම ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචිකරුවන් විය යුතු බවටද ඇප කොන්දේසියක් පැනවීය.

අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම ද තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසටද පොලිස්පතිවරයාට නියෝග කළේය.

සෑම මසකම අවසාන ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට වාර්තා කරන ලෙසට ද එහිදී නියෝග කෙරිණි.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට තර්ජනය හෝ බලපෑම් නොකරන ලෙසටද විමර්ශනවලට බලපෑමක් නොකරන ලෙසට ද මහාධිකරණය මෙහිදී අවවාද කළේය.

මෙහිදි නිතිපතිවරයා වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනි සිටි අතර පූජිත ජයසුන්දර මහතාට ඇප ලබා දීමට විරුද්ධ නොවන බව ඔහු ප්‍රකාශ කළේය.

හේමසිරි ප්‍රනාන්දුට ඇප

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා  ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(5) නියෝග කළේය.

ඒ හේමසිරි මහතා ගොනු කළ ඇප අයදුම්පත සලකා බැලීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඒ මහතා නිදහස් කෙරිණි. 

පසුගිය අප්‍රේල් 21 දා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබි තිබියදීත් එය වැළැක්වාගැනීමට අපොහොසත්වීම සහ රාජකාරිය පැහැර හැරීම යන චෝදනාව මත ඒ මහතා රිමාන්ඩ් කරනු ලැබ සිටියේය.

ඇපකරුවන් දෙදෙනා කොළඹ පදිංචිකරුවන් විය යුතු බවට  ද ඇප කොන්දේසියක් පැනවීය.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ පෙනී සිටින්නැයි නියෝග කෙරුණු අතර ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කරනු ලැබිණි.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට තර්ජනය හෝ බලපෑම් නොකරන ලෙසටද විමර්ශනවලට බලපෑමක් නොකරන ලෙසට ද මහාධිකරණය මෙහිදී අවවාද කළේය.

මෙහිදි නිතිපතිවරයා වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනි සිටි අතර හේමසිරි මහතා මාස 4 ක් රිමාන්ඩ් කර සිටීම හේතුවෙන් ඇප ලබා දීමට විරුද්ධ නොවන බව ඔහු ප්‍රකාශ කළේය.

නමුත් මීට පෙර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අවස්ථාවේ දී එම නියෝගය අහෝසි කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළ අතර එය සලකා බැලීමෙන් අනතුරුව ප්‍රානාන්දු මහතා යළි රිමාන්ඩ් කිරීමට මහාධිකරණය නියෝග කළේය.

Share