කොරෝනා නිසා⁣ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 31. 01. 2020 | 7.30am
කොරෝනා නිසා⁣ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
  • වෛරසය ගෝලීයව පැතිරීම නිසා අවම වශයෙන් පුද්ගලයින් 213 ක් මියගොස් ඇති අතර චීනයෙන් රෝගීන් 9,692 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
  • ගෝලීය හදිසි අවස්ථාවක්: ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වයිරසය ජාත්‍යන්තර සෞඛ්‍ය අවශ්‍යතාවයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
  • ගෝලීය ගැටළුව: ලොව පුරා රෝගීන් 9,700 කට වඩා වාර්තා වී ඇත. ඉතාලිය, ඉන්දියාව සහ පිලිපීනය ඇතුළු චීනයෙන් පිටත රටවල් 22 ​​ක් කරා වෛරසය ළඟා වී තිබේ.
  • චීනය නගර අගුළු දමා ඇත: මිලියන 60 කට ආසන්න ජනතාවක් සිටින චීන නගරවල් අර්ධ හෝ පූර්ණ වශයෙන් අගුලු දමා ඇත.
  • වෙනත් රටවල වැසියන් ඉවත් කිරීම: ශ්‍රී ලංකාව,එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජපානය සහ තවත් රටවල් කිහිපයක් තම පුරවැසියන් වුහාන් වලින් පිටතට ගෙන ඒමට කටයුතු කරමින් සිටී.
  • ඉතාලිය චීනය සමඟ ගුවන් ගමනාගමනය නවත්වයි, රුසියාව චීනය සමඟ දුර නැගෙනහිර මායිම වසා දමයි, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ චීනයේ සිට පැමිණෙන සංචාරකයින්ට දින 14 ක සංචාරක තහනමක් පනවා ඇති අතර තවත් ගුවන් සමාගම් කිහිපයක්  චීනයට ගුවන් ගමන් අත්හිටුවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කොරෝනා වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම ඊයේ(30) මෙම වෛරසයේ මාරාන්තික දිනය ලෙස බ්‍රහස්පතින්දා  සටහන් වී තිබේ.

ඒ චීන බලධාරීන් බ්‍රහස්පතින්දා දින මරණ 40 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමත් සමගයි.

ඒ සියල්ලම මරණ සියල්ල හුබෙයි පළාතෙන් වන අතර, මුළු මරණ සංඛ්‍යාව 213 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ලොව පුරා රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී තිබේ.

බ්‍රහස්පතින්දා රාත්‍රිය වන විට චීනයේ කොරෝනා වයිරස් රෝගීන් 9,600 කට වැඩි සංඛ්‍යාවක් සනාථ වී ඇති බව බලධාරීහු පවසති.එය පෙර දිනට වඩා 2,000 කට ආසන්න වැඩි වීමකි.

එය මේ වන විට 'ලොව පුරා පුද්ගලයින් 8,098 ක් ආසාදනය වී 774 දෙනෙකු මරණයට පත් කළ' දකුණු චීනයේ 2003දී ආරම්භ වූ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) අභිබවා ගොස් තිබේ.

වෛරසය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස Lunar-අලුත් අවුරුදු නිවාඩුව දීර්ග කිරීමෙන් පසු චීනයේ බොහෝ ප්‍රදේශ නැවත සඳුදා සිට රාජකාරි කටයුතු ආරම්භ කරයි.

දැන් ඇති භීතිය වන්නේ මේ සමග මිලියන ගණනක් දෙනා රට පුරා සංචාරය කිරිමත් නගර සුපුරුදු ව්‍යාපාර ආරම්භ කිරීමත් සමග වෛරසය ව්‍යාප්ත වීම සීග්‍රයෙන් ඉහළ යා හැකියාවයි.

චීනයේ බොහෝ පාසල් සහ විශ්ව විද්‍යාල ලබන සතියේත් වසා තබනු ඇත.

වෛරසය පැතිරීම හේතුවෙන් තුර්කි ගුවන් සමාගම පෙබරවාරි 9 වනදා දක්වා චීනයට ඇතැම් ගුවන් ගමන් නවත්වන බව රම ගුවන් සමාගම බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ අනුව බීජිං, ගුවැන්ෂු, ෂැංහයි සහ ෂියාන් වෙත පියාසර කිරීම පෙබරවාරි 9 වනදා දක්වා නතර කරනු ඇත.

කෙන්යා එයාර්වේස් සමාගම අද(31) චීනයට ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර පාකිස්තානය ද චීනයට ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

මීට අමතරව බ්‍රිතාන්‍ය එයාර්වේස්, යුනයිටඩ් එයාර්ලයින්ස්, එයාර් කැනඩා, ඇමරිකන් එයාර්ලයින්ස්, එයාර් ඒෂියා, කැතේ පැසිෆික්, එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ, ලුෆ්තන්සා සහ ෆිනෙයාර් යන ගුවන් සමාගම් චීනය වෙත ධාවනය වන ගුවන් ගමන් වාර ගණන අඩු කිරීමට හෝ රටට පියාසර කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ චීනයේ තානාපති ෂැං ජුන් මහතා කියා සිටියේ රට තවමත් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ ඉතා තීරණාත්මක අවධියක සිටින බවත් පැතිර යාම පාලනය කිරීමේදී “ජාත්‍යන්තර සහයෝගීතාව” වැදගත් බවත්ය.

ලෝකයේ අනෙක් රටවල් "වගකිවයුතු ලෙස හැසිරෙනු ඇතැයි" සහ "අනිසි ලෙස ප්‍රතිාචාර දැක්වීමෙන් වැළකී සිටිනු ඇතැයි ද තමන් විශ්වාස කරන බව ඒ මහතා කීය.එමඟින් ඍණාත්මක බලපෑම් අවම කරගත හැකි බවද යනුවෙන් ඔහු පැවසීය.

වෛරසය පැතිර යාම මධ්‍යයේ හොංකොං හරහා ශල්‍ය මුහුණු ආවරණ හිඟයක් පවතී.

සමහර වෙළඳසැල් භාවිතා කරන මුහුණු ආවරණ නැවත ඇසුරුම් කර නැවත විකුණන බවට කටකතා සහ සත්‍ය තහවුරු නොකළ වාර්තා සමඟ මහජන බියක්ද වර්ධනය වී තිබේ.

බදාදා දිනය අවසන් වන විට මුළු වුහාන් කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 9,692 දක්වා ඉහළ ගොස් ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කරයි.

එය පෙර දිනට වඩා 1,982 ක ඉහළ යාමකි.

මෙම සතියේ සෑම දිනකම චීනයේ වෛරසය වැළඳී ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබේ.

අඟහරුවාදා සිට බදාදා දක්වා කාලය තුළ අාසාදිතයින් සංඛ්‍යාව 1,500 කින් පමණ වර්ධනය වූ අතර එය 30% කට වඩා වැඩි වීමකි.

ඉරිදා සිට සඳුදා දක්වා චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 65% කින් ඉහළ ගොස් තිබේ.

දින 10 කින් සිදුවිය හැකි උපරිමය: 

අඟහරුවාදා රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් චීනයේ ප්‍රමුඛ ශ්වසන විශේෂ විශේෂඥයෙකු සහ 2003 SARS වෛරසයට එරෙහි සටනේ වීරයකු වූ ෂොං නන්ෂාන් මහතා පැවසුවේ ඉදිරි දින 10 තුළ එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

තවත් විශේෂඥයින් පවසන්නේ වෛරසය තවමත් පැතිර යා හැකි බවයි: ඉදිරි සති කිහිපය තුළ හුබෙයි හි රෝගය පැතිර යා හැකි බවත් අනෙක් චීන ප්‍රධාන නගරවල, රට පුරා සහ ලොව පුරා ව්‍යාප්ත විය හැකි බවත් වෙනත් විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

වසන්තය හා ගිම්හාන ඍතුව: එක් විශේෂඥයෙක් පැවසුවේ චීනයේ ප්‍රධාන නගරවල පැතිරීම අප්‍රේල් හෝ මැයි මාසවලදී ඉහළ යා හැකි බවත් ජුනි සහ ජූලි මාසවල ක්‍රමයෙන් මන්දගාමී විය හැකි බවත්ය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනය සඳහා සිය සංචාරක උපදේශනය 4 වන මට්ටම දක්වා ඉහළ නැංවීය: වුහාන් කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් චීනයේ සංචාරය නොකරන්න. එය එම සංචාරක අනතුරු ඇඟවිමේ ඉහළම මට්ටමයි.

පසුගිය සතියේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් හදිසි නොවන එක්සත් ජනපද නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වුහාන් වෙතින් ඉවත් වන ලෙස නියෝග කරන ලදී. 

බ්‍රහස්පතින්දා වූහාන්වල සිටි ඇමරිකානුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් කැලිෆෝනියාවේ හමුදා කඳවුරකට යොමු කර ඇත.

දකුණු කොරියාව සිය පුරවැසියන් 368 දෙනෙකු වුහාන් සිට ආපසු ගෙන්වා ගෙන ඇත.

ප්‍රංශ පුරවැසියන් 200 දෙනෙකු වූහාන් ⁣වලින් ඉවත් කරගැනීමට ගිය ප්‍රංශ හමුදා ගුවන් යානයක් එම මගීන් සමග වුහාන්වලින් පිටත් වී ඇතැයි  සීඑන්එන් වාර්තා කරයි.

මෙම ජෙට් යානය දකුණු ප්‍රංශයේ ඉස්ට්‍රෙස්-ලී ටියුබ් ගුවන් කඳවුරට පැමිණීමෙන් පසු එම පිරිස දින 14 ක් නිරෝධායනය කරනු ලබන්නේ මර්සෙයි අසල කුඩා නගරයක් වන කැරී-ලෙ-රූට් හි පිහිටි නිවාඩු නිකේතනයක බව කලාපයේ පොලිස් ප්‍රධානියා පවසයි.

වුහාන් හි සිරවී සිටින පුරවැසියන් ඉවත් කිරීම සඳහා එක්සත් රාජධානියේ රජය විසින් යවන ලද   ගුවන් යානයක් වූවාන් නගරයෙන් පිටත් වී ආපසු බ්‍රිතාන්‍යයට ගොස් ඇත.

බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයට අනුව බ්‍රිතාන්‍ය පුරවැසියන් 83 ක් සහ තවත් විදේශිකයෝ 27 ක් එහි සිටිති.  

මගීන්ට වෛද්‍ය අවශ්‍යතා සැපයීම සඳහා වෛද්‍යවරුන් ද එම යානයේ සිටින බව සදහන්.

දැනට සිදුකෙරෙන ඉවත් කිරීම්: ජපානය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, දකුණු කොරියාව සහ තවත් රටවල් කිහිපයක් ගුවන් යානා මගින් වුහාන් වෙතින් තම පුරවැසියන් ගෙන්වාගෙන ඇත.  

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු තවත් රටවල් කිහිපයක් ද එවැනිම ඉවත් කිරීම් සඳහා සූදානම් වෙමින් සිටී.

ඉතාලි නැවක සිටි චීන ජාතික කාන්තාවකට උණ ⁣වැළදීම නිසා එම නැව මගීන් 6000ක් සමග මුහුදේ නැංගූරම් ලා තිබුණු අතර පසුව එම කාන්තාවගේ සහ ඇගේ සැමියාගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව තහවුරු වී ඇත්⁣තේ ඔවුන්ට වෛරසය වැළදී නැති බවයි.පසුව එම නැවේ මගීන්ට පිටව යාමට අවසර ලබා දී තිබිණි.

ඉදිරි සති කිහිපය තුළ චීනයේ ප්‍රධාන භූමිය ⁣වෙත හොංකොං සිට පිටත්ව යාමට නියමිතව තිබූ සංචාරක කණ්ඩායම් 3,380 කට වැඩි ප්‍රමාණයක් එම සංචාර අවලංගු කර ඇති බව හොංකොං සංචාරක කර්මාන්ත නිලධාරීහූ සිකුරාදා නිවේදනය කළහ.

අවලංගු කිරීම් සංචාරකයින් 118,000 කට වැඩි ගණනකට සහ සංචාරක නියෝජිතයින් 30 කට බලපාන අතර තවදුරටත් අවලංගු කිරීම් අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.

මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ  චීනයට ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීම, රටවල් තම පුරවැසියන්ට චීනයට නොයන ලෙස අනතුරු අැඟවීම,හොංකොං වැනි චීනය අසල රටවල් චීන සංචාරකයින්ට දේශසීමා වැසීම සහ සංචාරක සීමා පැනවීම යන කරුණු හේතුවෙනි.

මේ වන විට කොරෝනා රෝගය පැතිර තිබෙන රටවල් පහත දැක්වෙයි.


සීඑන්එන් පුවත් සේවය ඇසුරෙන් 

Cover photo-Hector Retamal/AFP/Getty Images

Share