රුසියානු රජය ඉල්ලා අස්වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 15. 01. 2020 | 8.03pm
රුසියානු රජය ඉල්ලා අස්වෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට ඉඩ ලබා දීම සඳහා තම රජය ඉල්ලා අස්වන බව රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙඩ්විඩෙව් මහතා පැවසීය.

ජනාධිපති ධුරයේ සිට පාර්ලිමේන්තුවට බලය මාරු කළ හැකි විශාල වෙනස්කම් කිහිපයක් පිළිබඳව පුටින් මහතා රටපුරා ඡන්ද විමසීමක් පැවැත්වීමට යෝජනා කිරීමෙන් ටික කලකට පසු මෙම අනපේක්ෂිත නිවේදනය සිදු කෙරිණි.මින් අදහස් වන්නේ රුසියාවට ද නව අගමැතිවරයෙකු ලැබෙනු ඇති බවයි.

එම අගමැති අපේක්ෂකයින් අතර මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින්, ආර්ථික ඇමති මැක්සිම් ඔරෙෂ්කින් හා බලශක්ති ඇමති ඇලෙක්සැන්ඩර් නොවාක් ඇතුළත් වන බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙඩ්විඩෙව් මහතා එරට රාජ්‍ය රූපවාහිනිය හරහා මෙම නිවේදනය සිදු කළේ ජනාධිපති පුටින් ද අසල වාඩි වී සිටින අතරතුරයි.

තම සමීප මිතුරෙකු වන මෙඩ්විඩෙව්ට ඔහු කළ සේවය ගැන රුසියානු ජනාධිපතිවරයා ස්තූති කළේය. 

පුටින් මුලසුන හොබවන රුසියාවේ ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස මෙඩ්විඩෙව් මහතා පත් කරන බවද පූටින් මහතා කීය.

නව රජයක් පත් කරන තුරු සේවයෙන් ඉවත් නොවන ලෙස පුටින් මහතා මෙඩ්විඩෙව් ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියේය.

Share