ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට තද වැසි

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 12. 2019 | 8.06am
ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට තද වැසි

ඉදිරි පැය 24 තුළ උතුරු පළාත, ත්‍රිකුණාමලය සහ පොලොන්නරුව  දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100-150 අතර තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් පවතින බවත් දෙසැම්බර් මස 25 දින සිට තාවකාලිකව තරමක් දුරට අඩුවන ලකුණු පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු පළාතෙත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ ඉතා තද වැසිද මධ්‍යම පළාතෙත් අම්පාර,මඩකලපුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තද වැසිද බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසිද බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.50 පමණ තරමක් තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share