තානාපති කාර්යාල සේවිකාව රිමාන්ඩ් කිරීම ගැන ස්විස්ටර්ලන්තය කනගාටුව පළකරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 21. 12. 2019 | 8.57am
තානාපති කාර්යාල සේවිකාව රිමාන්ඩ් කිරීම ගැන ස්විස්ටර්ලන්තය කනගාටුව පළකරයි

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සිදුවීමට සම්බන්ධ සේවිකාවගේ සෞඛ්‍ය තත්ත්වය ද නොසලකමින් එම සේවිකාව නඩු විභාගයට පෙර රැඳවුම්භාරයේ තැබීමට මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය සම්බන්ධයෙන් ස්විස් විදේශ අමාත්‍යවරයා කනගාටුව පළ කරන බව ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් මානුෂීය කරුණු සලකා බලමින් ඇය රෝහලක් හෝ සුදුසු ස්ථානයකට හෝ යැවීමට පියවර ගන්නැයි විදේශ අමාත්‍ය කසිස් මහතා විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතාගෙන් ඉල්ලූ බවද එම දෙපාර්තමේන්තුව කියයි.

සිය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වයට සහ ආරක්ෂාවට ශ්‍රී ලංකා බලධාරීන් වගකිව යුතු යැයි ද නිවේදනයක් නිකුත් කරමින් ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපතිවරයකු වන යර්ග් ෆ්‍රීඩන් මෙරටට එවන බවද එම නිවේදනයේ දැක්වෙයි.

ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍ය ඉග්නාසියෝ කාසිස් මහතා ඉකුත් දා (18) ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දුරකතන ඇමතුමක් දුන් බවත් එහිදි සිදුවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ස්ථාවරය දැනුම් දුන් බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

විදේශ කටයුතු පිළිබඳ ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“වත්මන් අර්බුදය විසඳා ගැනීම සඳහා ස්විට්සර්ලන්තය අඛණ්ඩව ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට පියවර ගනිමින් සිටී. විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කසිස් මහතා දෙසැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා විදේශ දිනේෂ් ගුණවර්ධන මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙන ලදි.

ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපතිවරයකු වන යර්ග් ෆ්‍රීඩන් ශ්‍රී ලංකාවට එවන බව එහිදි දැනුම් දෙන ලදි. තානාපති යර්ග් ෆ්‍රීඞ්මන් අත්දැකීම් බහුල තානාපතිවරයකු වන අතර හෙතෙම කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඒ ගැන සොයා බලනු ඇත.

විදේශ කටයුතු පිළිබඳ ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව තානාපති කාර්යාලයේ, කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව ඉහළම ප්‍රමුඛතාව දෙන බවත් ඉදිරි ක්‍රියාමාර්ගවලදීද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ වගකීමක් බවත් ස්විස් විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැති දුරකතන සංවාදයේදී අමාත්‍ය කසිස් සිදුවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ස්ථාවරය පැහැදිලි කර තිබේ. අදාළ සිදුවීම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ දේශීය සේවිකාවගේ සෞඛ්‍ය තත්ත්වයට බරපතළ ලෙස බලපා ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ද පැන නැගී තිබේ.

සේවා යෝජකයකු ලෙස විදේශ කටයුතු පිළිබඳ ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව සිය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන බව සඳහන් කළ යුතුය. විදේශ කටයුතු පිළිබඳ ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ශ්‍රී ලංකා බලධාරීන් සතු වන බවත් ඊට වත්මන් සිදුවීම් දාමයට සම්බන්ධ සේවිකාව ද ඇතුළත් වන බවත් ස්විස් විදේශ අමාත්‍ය කසිස් දුරකතන සංවාදයේදී සඳහන් කර ඇත.

මෙම සිදුවීමට සම්බන්ධ සේවිකාවගේ සෞඛ්‍ය තත්ත්වය ද නොසලකමින් සේවිකාව නඩු විභාගයට පෙර රැඳවුම්භාරයේ තැබීමට මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය සම්බන්ධයෙන් ද ස්විස් විදේශ අමාත්‍යවරයා සිය කනගාටුව පළ කළේය.

ඒ හේතුවෙන් මානුෂීය කරුණු සලකා බලමින් ඇය රෝහලක් හෝ සුදුසු ස්ථානයකට හෝ යැවීමට පියවර ගන්නැයි ද විදේශ අමාත්‍ය කසිස් මහතා විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා ඇත. සිය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වයට සහ ආරක්ෂාවට ශ්‍රී ලංකා බලධාරීන් වගකිව යුතු යැයි ද ස්විට්සර්ලන්තය සැලකිල්ලට ගනී.

ඉහළ පෙළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් නීතිපතිවරයා හමු වී කරුණු දැක්වූ බවත් මෙම සිදුවීම නීතියේ ආධිපත්‍යය පවත්වාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමට ලක් කර තිබේ.

මෙම සිදුවීමට ඉහළ මාධ්‍ය අවධානයක් දීමත් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අපොහොසත් වීමත් මහජනතාවගෙන් එල්ල වූ දෝෂාරෝපණයත් යන කරුණු නිසා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අන්තරායට පැමිණීමට අමතරව සිදුවීම සම්බන්ධයෙන් ඒකාබද්ධව කරුණු පැහැදිලි කරගැනීමට තිබූ විශ්වාසය පළුදු කළ බව ද ස්විස් විදේශ අමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාට දන්වා තිබේ.

ශ්‍රී ලංකා බලධාරීන් සමඟ මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීමට ස්විට්සර්ලන්තය දැඩි වුවමනාවෙන් සිටින බවත් අත්දැකීම් සහිත තානාපතිවරයකු වන යර්ග් ෆ්‍රීඩන් ශ්‍රී ලංකාවට එවන්නේ එම නිසා බවත් විදේශ අමාත්‍ය කසිස් දුරකතන සංවාදයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ.

තානාපති යර්ග් ෆ්‍රීඩන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කර ලබාගත හැකි විසඳුම් මොනවාදැයි විමසා බලනු ඇති බවත් ඊට අමතරව හෙතෙම ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කටයුතුවලට සහාය දීමටත් නියමිතය. මෙම අමතර ක්‍රියාමාර්ගය මඟින් ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර තිබෙන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරගැනීමට ද බලාපොරොත්තු වේ.

මෙම දුරකතන සංවාදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා සහ තානාපති යර්ග් ෆ්‍රීඩන් මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණ ගැසී විසඳුමක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදි. වත්මන් සිදුවීමේදී නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය යන මූලධර්මය මත පිහිටා කටයුතු කළ බවත් තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වය දෙන බවත් ස්විස් තානාපතිවරුන් එහිදි දැනුම් දී තිබේ.

ස්විට්සර්ලන්තය ඉදිරියේදී ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට බලාපොරොත්තු වේ”.  

Share