පාස්කු ප්‍රහාරයට වගකීමක් ඇති පොලිස් ලොක්කන් දෙදෙනකුට ප්‍රහාරය සිදුවූ පළාත් දෙකේ මුල් පුටු

Staff Writer | Author . Translate to English or தமிழ் 04. 12. 2019 | 11.15am
පාස්කු ප්‍රහාරයට වගකීමක් ඇති පොලිස් ලොක්කන් දෙදෙනකුට ප්‍රහාරය සිදුවූ පළාත් දෙකේ මුල් පුටු

වගකීම් පැහැරහැර පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන නිලධාරීන් දෙදෙනකු පාස්කු ප්‍රහාරය සිදුවූ බස්නාහිර සහ නැගෙනහිර පළාත් දෙක බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කර තිබේ.

එලෙස පත් කරනු ලැබ ඇත්තේ පසුගියදා වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කළ දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ලලිත් පතිනායක මහතා බව පොලිසිය කියයි.

ඊට අදාල විශේෂ පොලිස් පණිවුඩය පහතින්


මේ දෙදෙනාට උසස්වීම් ලබාදීම ගැන  අප වෙබ් අඩවිය ඊයේ(03) පළ කළ ලිපිය පහතින්.

පසුගිය දා වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාට එලෙස උසස්වීම් ලැබී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර තිබිය දී බව වාර්තාවේ.

එලෙස උසස්වීම් ලැබ ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ලලිත් පතිනායක මහතාට බව පොලිසිය කියයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික වශයෙන් එහි වගකීම් පැහැර හැරියේයැයි පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු අත්අඩංගුවට ගනු ලැබූහ.

එම විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු මූලික බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසකට ද යොමු කර ඇති බවයි.

මූලික වශයෙන් එම නිලධාරීන්ට පියවර ගැනීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කරන ලදුව මූලික පියවර වශයෙන් එම නිලධාරීන් පිරිස සේවය කරමින් සිටි ස්ථානයෙන් ඉවත් කර වෙනත් තැන්වලට අනියුක්ත කරනු ලැබීය. ඒ අතර එවකට බස්නාහිර උතුර භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ කොළඹ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ද සිටියහ.

අත්අඩංගුවට ගත් සැකකරුවකු ඝාතනය කරන ලෙසට නීති විරෝධී නියෝගයක් ලබා දුන් බවට ලලිත් පතිනායක මහතාට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා පැමිණිල්ලක් යොමු කර තිබූ අතර එය ද විමර්ශනය කරන ලෙස රහස් පොලිසියට යොමු කර ඇති බව පොලිස් කොමිෂන් සභාව ඒ දිනවල ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාටම පොලිස් කොමිෂන් සභාවෙන් ස්ථාන මාරු ලබා දුන් අතර පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් වෙනම විමර්ශනයක් ද ආරම්භ කර තිබිණි.

ඒ අතරතුර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන රහස් පොලිසිය නීතිපතිවරයා වෙත යොමු කළ තොරතුරු අනුව නීතිපතිවරයා නිර්දේශ කර තිබුණේ මෙම නිලධාරීන්ට අපරාධ වගකීමක් තිබුණේද යන්න ගැන විමර්ශන කර ඉදිරි පියවර ගන්නා ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණු අතර දෙදෙනාට උසස්වීම් ලබා දුන්නේ ඒ අතරතුරදීය. එලෙස උසස්වීම් ලබාදීමත් සමඟ පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් වික්ෂිප්ත වූහ.

මේ දෙදෙනාගෙන් කෙනකු බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට යතියි පැතිර යන ආරංචියක් නිසා පොලිස් නිලධාරීහු කළබලයට පත්වී සිටිති.

පහතින් දැක්වෙන්නේ ලලිත් පතිනායක මහතා සහ දේශබන්දු තෙන්නකෝන් මහතා ජ්‍යෙෂ් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස්කරමින් පොලිස්පතිවරයා නිකුත් කළ පොලිස් පණිවුඩයයි.




පහතින් දැක්වෙන්නේ ඔවුන් සම්බන්ධයෙන් සිළුමින පුවත්පත පළ කළ වාර්තාවකි.
පහතින් දැක්වෙන්නේ අරුණ පුවත්පත පළ කළ වාර්තාවකි.

Share