යළි කරළියට ආ ඇවන්ගාඩ් නාටකය

Staff Writer | Author . Translate to English or தமிழ் 27. 10. 2019 | 6.47pm
යළි කරළියට ආ ඇවන්ගාඩ් නාටකය

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය යළිත් දේශපාලන කරලියට පැමිණ තිබේ. හිටපු සොලිසිටර් ජනරාල්වරයකු වූ සුහද ගම්ලත් මහතා සහ හිටපු අධිකරණ ඇමැතිවරයකු වූ විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. ඊට ප්‍රතිචාර දැක්වීමට හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා ද මාධ්‍ය හමුවක් කැඳවා අදහස් ප්‍රකාශ කළේය. මෙම ලිපිය ඇවන්ගාඩ් නාටකය ගැනයි.

ඇවන්ගාඩ් ආන්දෝලනය ආරම්භ වුයේ 2015 ජනවාරි මාසයේදී ය.  දකුණු මුහුදේ නැංගුරම්ලා තිබූ එම්.වී.මහනුවර නම් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් ගැන ලැබුණු තොරතුරු සමඟ 2015 ජනවාරි 18 වැනි දා පොලිසිය එම නෞකාව පරීක්ෂා කළේය. එහි කන්ටේනර 20 පමණ අවි ගබඩා කර තිබුණු අතර පොලිසිය එදිනම සාක්කි සටහන් කර ගැනීම ආරම්භ කළේය.  

එම සමාගම පොලිසියට මුලින්ම පවසා ඇත්තේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ යාත්‍රාකරන නැව්වලට ආරක්ෂාව සපයන ජාත්‍යන්තර ආරක්ෂක සේවාවන්ට මෙම අවිගබඩාව මගින් සේවා පහසුකම් සපයන බවයි.   

ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිව සිටි ඒ ඩී ඒ එස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් මූලිකව විමර්ශන සිදුකරගෙන ගිය අතර පසුව එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශන ආරම්භ කළ පසු ඔවුන් එහි ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවට ද වරින් වර වාර්තා කළේය. අදාල ගොනුව අධීක්ෂණය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩු අංශයේ ප්‍රධානියා විසින් පත් කරනු ලැබූ නිලධාරියා වූයේ එවකට අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතාය.

ගොනුව අධීක්ෂණය කිරීමෙන් පසුව අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා සීආර්1/58/2015 අකංයෙන් සිය නිරීක්ෂණ නීතිපති වෙත යොමු කළේය.

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගිනි අවි  ගෙන්වීම, වලංගු බලපත්‍ර නොමැතිව ගිනි අවි හා උණ්ඩ ළඟ තබා ගැනීම, එම වැරදි කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යටතේ පස් දෙනකුට එරෙහිව නඩු පැවරීමට සාධාරණ කරුණු ඇතැයි අතිරේක සෝලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිපතිට යොමු කළ වාර්තාවේ සඳහන් විය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ගිනි අවි ආඥා පනත සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්කි ඇති පුද්ගලයන් ලෙස වසන්ත නවරත්න බණ්ඩාර මහතා සිය වාර්තාවෙන් දක්වා ඇත්තේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංඛ සේනාධිපති, එහි අධ්‍යක්ෂ මංජුල කුමාර යාපා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ඩී එම් එස් ජයරත්න මහත්මිය සහ රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන පිරිසය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද මෙම පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවට ද ඔහු නිර්දේෂ කර ඇත.

මෙම පස්දෙනාට එරෙහිව ප්‍රභල සාක්කි ඇති බව තමාගේ මතය හෙයින් තම නිර්දේශ සමඟ එකඟ වන්නේ නම් මුලින්ම ඔවුන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියට උපදෙස් දෙන ලෙස ද වසන්ත නවරත්න බණ්ඩාර මහතා නිදේශ කර තිබේ.

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ නීත්‍යනුකූල නොවන පාවෙන අවි නැව් ව්‍යපාර හා එම අවි හා උණ්ඩ ගබඩා කර ඇති ගබඩා තහනම් කර ඒවායේ භාරකාරිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවට පවරා වාණිජ නැව්වලට ආරක්ෂාව සැපයීම නාවික හමුදාවට පවරන ලෙස ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා නිර්දේශ කර තිබිණි. ඊට පෙර මෙම කටයුත්ත කළේ ද නාවික හමුදාවයි.

ඒකේ 47, රයිෆල් හා වෙනත් යුද අවි ආයුධ 3000කට වැඩි ප්‍රමාණයක් ද,  උණ්ඩ හත් ලක්ෂයක් පමණ ද එම නැවේ තිබුණු බවත්, නැවේ නීත්‍යනුකූල අයිතිකරු වන ලංකා ශිපිං සමාගම එම නැව ඇවන්ගාඩ් සමාගමට බදු දී ඇති බවත්, එම අවිවල අයිතිය භාරකාරත්වය හා පාලනය මුළුමනින්ම ඇවන්ගාඩ් සමාගම සතු බවත් රහස් පොලිසිය හා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව ඒවා ගණන් ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටි බවත් නවරත්න මහතා සඳහන් කර තිබිණි.

වසන්ත නවරත්න බණ්ඩාර මහතාගේ මෙම නිර්දේශ ගැන එවකට නීතිපතිවරයාව සිටි යුවංජන් විජේතිලක මහතා එකඟත්වයක් පළ කර නැත. වසන්ත නවරත්න බණ්ඩාර මහතා මීට දින දෙකකට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ තමන්ගේ නිර්දේශ සමාලෝචනය කිරීමට නීතිපතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට යොමු කළ බවයි. ඒ පිරිස අතර දැන් අගවිනිසුරු එවකට  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය සහ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ද සිටි බවත්, ඔවුන්ගේ අදහස වූයේ ද තමා නම් කළ පිරිසට නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්කි ඇතැයි යන්න බවත් නවරත්න මහතා කීවේය.

කෙසේ වෙතත් ඉන් පසු ගොනුව නවරත්න බණ්ඩාර මහතාට ලැබී නැති අතර 2015 අගෝස්තු 27 වැනි දා රහස් පොලිසිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මියට දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්කි නොමැති බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි.  ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කැරිණි.

කරුණු මෙසේ යටපත් වෙද්දී ගාලු වරායේ නවතා තිබූ තවත් සැකසහිත නැවක් 2015 ඔක්තෝබර් මාසයේ දී නාවික හමුදා භාරයට පත්විය. දක්ෂිණ නාවික හමුදා කලාපය භාරව සිටි කොමදෝරු එන් හීනටිගල මහතාගේ දැනුම් දීම අනුව වරාය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය.

මෙම නෞකාවට ගාලු වරායට ඇතුළු වීමට අවසර ලබා දෙමින් ආරක්ෂක අමාත්‍යංශයෙන් ලිපියක් නිකුත් කර තිබිණි.  ‘ වගකිව යුත්තෙකුගේ අවධානයට‘ යනුවෙන් සඳහන් සැප්තැම්බර් මස 23 වැනිදා දාතමින් යුතු මේ ලිපිය නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්ව සිටි පසුව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ලෙස පත්වූ සමන් දිසානායක මහතාය. චීනයේ නිෂ්පාදිත සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු දෙකක් , උණ්ඩ පිරවූ ඩ්‍රම් 8 ක්, චීනයේ නිශ්පාදිත ටී.56 ස්වයංක්‍රීය ගිනි අවියක්  සහ මිලිමීටර 7.6239 ප්‍රමාණයේ උණ්ඩ 2000 ක් මෙම නෞකාවෙන් ගෙන එන බව එම ලිපියේ සඳහන් කර තිබිණි.   විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විවිධ වර්ගයන්ට අයත් රයිෆල වර්ග 816 ක්ද, උණ්ඩ 202,674 ක් එම නෞකාවේ තිබෙන බවයි.

 ‘‘ රක්නා ආරක්ෂක ලංකා සමාගම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පිළිගත්  නීති ප්‍රකාරව ලියාපදිංචි කර තිබෙන සමාගමයකි. මෙය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇත. අංක 613,බංගලාව හන්දිය,කෝට්ටේ පාර,කෝට්ටේ ලිපිනයේ පිහිටා තිබෙන ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ගිවිසුමක් ඇත. නෞකා වලට මුහුදේදී අවශ්‍ය ආරක්ෂාව සපයනු වස් අවිගත් ආරක්ෂකයින් ලබාදීම මෙම සමාගම සිදුකරයි. මෙම ආරක්ෂකයින් හා ඔවුන්ගේ අවි වල භාරකාරීත්වය ඇත්තේ සම්පූර්ණයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රක්නා ලංකා සමාගමටය. ගිනි අවි,උණ්ඩ හා වෙනත් උපකරණ ප්‍රවාහනය කිරීමට ඇවන්ගාඩ් සමාගමට අපි මෙයින් අවසර ලබාදෙන්නෙමු.‘‘ යැයි එහි සඳහන් කර ඇත.

කෙසේ වෙතත් 2015 නොවැම්බර් 13 වෙනිදා ඇවන්ඩ්ගාඩ් බාරයේ තිබුණු සියලුම අවි ආයුධ ශ්‍රී ලංකා නාවික හමුදාව බාරයට ගනු ලැබීය. මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන කරගෙන යන අතරතුර මහා පරිමාණ දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ද විමර්ශන කරගෙන ගියේය.

කෙසේ වෙතත් අවසානයේ මෙම නැව සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කළ අතර මෙහි සැකකරුවෝ මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන්ට එරෙහිව මේ වන විට මහාධිකරණයේ ද නඩු පවරනු ලැබ තිබේ. වගඋත්තරකරුවන්ගේ ලැයිස්තුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ නම හැලී ගොස් තිබේ.

එමෙන්ම පළමු ආයුධ නැවේ විමර්ශන ද වගඋත්තරකරුවන් නැතිවම අතරමහඟ නවතා දමා තිබේ.

නඩු දැමීම නොදැමීම කෙසේ වෙතත් මේ අවස්ථාවේ වැදගත් වෙන්නේ වසන්ත නවරත්න බණ්ඩාර මහතාගේ නිර්දේශ කුණු බක්කියට විසිවී ගෝඨාභය ඇතුළු පිරිසට සාක්කි තිබිය දී නඩු නොපැවරීමට තීරණය කළේ කවුද, කාගේ බලපෑමෙන්ද යන්න සෙවීමයි. දැන් නීතිය ක්‍රියාත්මක විය යුත්තේ නඩුව යටපත් කිරීමට බලපෑම් කළවුන්ට සහ එම බලපෑමට අනුව නඩුව යටපත් කළවුන්ටය.

ගමේ ගල් කටස් තුවක්කුවක් නිසි බලපතක් නැතිව ළඟ තිබුණත් කුදලාගෙන ගොස් කූඩුවට දමන නීතිය ආයුධ 3000ක් සහ උණ්ඩ දහස් ගණනක් විෂයෙහි වෙනස් වීම පුදුමාකාරය.





Share