ප්‍රහාරයට පෙර දින ලැබුණු තොරතුර පොලිස්පතිට දැනුම් දුන්බව සීඅයිඩිය කියයි

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 07. 2019 | 9.03pm
ප්‍රහාරයට පෙර දින ලැබුණු තොරතුර පොලිස්පතිට දැනුම් දුන්බව සීඅයිඩිය කියයි

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් ගැන මුලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු  වාර්තා වූයේ 2019 ජනවාරි 26 වැනි දා බවත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයා ලිඛිතව දැනුම්වත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අද (24) පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමිනි.

මාවනැල්ලේ බුදුපිළිම කඩා දැමීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාර ගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුත්තලම වනාතවිල්ලුවේ පොල්වත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවත්, වැඩිදුර විමර්ශනවලදී ජනවාරි 26 වැනි දා සහරාන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

ඒ සම්බන්ධයෙන් 26 වැනිදාම පොලිස්පතිවරයාට දැනුම් දුන් බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහරාන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගිය බව ද සඳහන් කළේය.  

පාස්කු ප්‍රහාරයට පෙර දින බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා දුරකතනයෙන් අමතා තොරතුරක් ගැන සඳහන් කළ බවත්, එය ඉක්මණින් ක්‍රියත්මක විය යුතු තොරතුරක් නිසා පොලිස්පතිවරයාට ඒ අවස්ථාවේම ඒ ගැන දැනුම් දුන් බවත්, අනතුරුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් රවී සෙනවිරත්න මහතා කීවේය.

Share