නුවන් කුලසේකරට සෙල්ලම් කරන්න හම්බෙන එකක් නෑ - ක්‍රීඩා ඇමති

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 07. 2019 | 12.01pm
නුවන් කුලසේකරට සෙල්ලම් කරන්න හම්බෙන එකක් නෑ - ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට අද (24) හදිසියේ තීරණය කර තිබේ.

ඒ නුවන් කුලසේකර වෙනුවෙන් බංගලාදේශ තරගාවලියේ අවසන් තරගය නම් කරනු ඇති නමුත් කුලසේකරට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවනු ඇති බවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

මේ සමගම එළැඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලියේ තුන්වැනි තරගයට ක්‍රීඩක නුවන් කුලසේකර ක්‍රීඩා කරන බවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් පැතිරෙන කතා අසත්‍ය බව දැනගන්නට ලැබේ.

ඊයේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසූවේ නුවන් කුලසේකර අවසන් එක්දින තරගයට සහභාගී වන බවක් නොව නුවන් කුලසේකර වෙනුවෙන් අවසන් තරගය නම් කිරීමට කටයුතු කරන බව පමණි.

‘මම ඉල්ලීමක් කළා නුවන් කුලසේකර මැතිතුමාව මේ තරග තුනේදී මොකක් හරි තරගයක් දෙන්න කියලා.නමුත් ප්‍රායෝගිකව ප්‍රශ්නයක් තියෙනවා එතුමා දේශීය එක තරගයක්වත් කාලයක් තිස්සේ ගහලා නැති වුණාම.තේරෙන ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි තේරීම් කාරක මණ්ඩලයෙන් කිව්වේ. හැබැයි අපි පළවෙනි එක්දින තරගයේදී ලසිත් මාලිංගට දෙනවා එයාගේ සමුගැනීම එක්දින තරගවලින්.ඒත් සමගම තුන්වැනි තරගයේ දීත් නුවන් කුලසේකර වෙනුවෙන් විශාල උපහාරයක් වෙනුවෙන් අවසන් තරගය නම් කරන්න සූදානම් කරලා තියෙනවා.සෙල්ලම්  කරන්න හම්බෙන එකක් නෑ.මට පරිපාලනයට ඇගිලි ගහලා කියන්න බැහැ ක්‍රීඩකයෙක්ට සෙල්ලම් කරන්න දෙන්න කියලා.නමුත් අපි අමාත්‍යංශ මට්ටමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉල්ලීමක් කරලා තියෙනවා නුවන් කුලසේකරගේ නමින් අවසන් තරගය එතුමාට සමුදීමක් දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ක්‍රීඩා අමාත්‍යංශයත් එක් වෙලා ලැස්ති කරලා තියෙනවා.“යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

Share