පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගන්න නියෝග

Staff Writer | Author . Translate to English or தமிழ் 05. 07. 2019 | 9.24pm
පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගන්න නියෝග

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතා ඇතුළු අට දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

 

පාවෙන අවි ගබඩාවේ සිද්ධියට තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ෂංඛ සේනාධිපති මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණු අතර එම පෙත්සම් පසුගියදා ප්‍රතික්ෂේප කෙරිණි. 

 

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

 

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති , විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු, විශ‍්‍රාමික මේජර් ජනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල, විශ‍්‍රාමික කොමදොරු  විශ්වජිත් නන්දන දියබලනගේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්  සමන් දිසානායක, විශ‍්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.බී. පේ‍්‍රමචන්ද්‍ර, ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයරත්න සහ ‘රක්නා ලංකා’ හිටපු සභාපති වික්ටර් සමරවීර යන අයයි.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මීට වසර කිහිපයකට පෙර රටින් පිටවූවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් නවරත්න මහතා හිටපු නීතිපතිවරයාට වාර්තාවක් සපයා තිබිණි.  ආරක්ෂක අමාතයංශයේ හිටපු සහකාර ලේකම් දමන්ති ජයරත්න මහත්මිය සහ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් දිසානායකගේ ප්‍රධානියා වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. කෙසේ වෙතත් අද අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් ලැයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම සඳහන් නොවේ. 

පාවෙන අවි ගබඩාවේ තිබී ගිනිඅවි 813ක් සහ ජීව උණ්ඩ ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් සොයා ගැනිණි.

ගිනි අවි ආඥා පනත සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ වරදවල් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම යටතේ සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරීමට සාක්කි ඇතැයි නීතිපතිවරයා දැනුම් දී තිබේ.


ඊට අමතරව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක, ජේ බී ප්‍රේමචන්ද්‍ර සහ නිශ්ශංඛ සේනාධිපති යන සැකකරුවන්ට බොරු සාක්කි ගෙතීම සහ ඊට අනුබල දීම යන චෝදනාවන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 190 යන වගන්ති යටතේ චෝදනා ගොනු කිරීමට සාක්කි ඇතැයි නීතිපතිවරයා දැනුම් දී ඇත.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පාලිත පියසිරි ප්‍රනාන්දු, අධිකාරී එගොඩවෙලෙ, නිශ්ශංඛ යාපා සේනාධිපති, විශ්වජිත් නන්දන දියබලනගේ සහ සමන් දිසානායක මහත්වරුන් ගොනු කළ එස්සීඑෆ්ආර් 20/2019, එස්සීඑෆ්ආර් 30/2019, එස්සීඑෆ්ආර් 31/2019, එස්සීඑෆ්ආර්  166/2018 සහ එස්සීඑෆ්ආර් 167/2018 යන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (04) සලකා බැලුණු අතර ඒවා නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේස්ඨාධිකරණය නියෝග කළේය.

Share