12 වතාවක් වැඩ තහනම් වූ ගී පද රචකයා ප්‍රේම්

Staff Writer | Author . Translate to English or தமிழ் 30. 06. 2019 | 9.02am
12 වතාවක් වැඩ තහනම් වූ ගී පද රචකයා ප්‍රේම්

වචන ගලපන්නේ කොහොමද කියල නොදැනෙන තරමට මම ඔහු තුල අතරමං වෙලා. කාලය කා දැමීම   අලසකමක් යැයි හිත නිතර දොඩවන කාලෙක අහම්බයකින් වගේ ඔහු මගෙ හිතට ආවේ නොදැනීම. විශ්වයම දෝතට ගෙන එන්නට තරම් තාක්ෂණය දියුණු මේ සාමාජයේ අවැසි දේ  දෙනෙත් මානයේ මැවෙන්නේ ඇසිල්ලකින්. ඒ ඇසිල්ලෙන් මම ඔහුගේ ජීවිතයට ගොඩ වැදුනා. ඔක්ටපෑඩයෙන් කොත්තු තලනා නව සියවසේ ගීතයෙන් එපිට ගීත කලාවක්  ඇති බව දන්නා ඕනෑම  අයෙක්ට ඔහුගේ වචන බෙහෙවින්ම හුරුපුරුදුයි.

වචන නොව ඒ ඔහුගේ ගී පද. ඔහු ලියූ බව නොදැන, ඔහු ලියූ ගී අනන්තවත් මම , ඔබ රස විඳ ඇති.  නමින් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් වූ ඔහු බොහෝ දෙනෙකුට ප්‍රේම්. එසේත්  නැතිනම් පොඩි මාස්ටර්. වර්ෂ 1947 ජූලි 03 දින උපන් ඔහුගේ හතලිස් දෙවසරක් වූ දිවි සැරියේ කෙතරම් ගී  පද ඔහු අතින් ලියවෙන්නට ඇතිද? කෙතරම් ශ්‍රාවක, ප්‍රේක්ෂක පිරිසක් ඔහු වටා එක් රොක්වන්නට ඇතිද?

 

මාලිගාකන්ද මහා විද්‍යාලය ඔහුට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දුන් විදු සෙවණ වුණා. ඉන්පසු අධ්‍යාපන කටයුතු සඳහා ඔහු ඇතුලත් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයට. ඔහු ළමා ගායකයෙක් ලෙස  ශ්‍රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වීමට පියවර තැබුවේ කොට කලිසමක් හැඳ   අම්මාගේ සුරතේ එල්ලීගෙනයි. ගුවන් විදුලියට එන මගවත් හරි හැටි නොදැන පැමිණි ඔහු  ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව තුල නොමැකෙන සටහනක් සලකුණු කළේ  නිපුණත්වය හා ජනප්‍රියත්වය  යන ලක්ෂණ දෙකෙහිම උරුමකරුවෙක්  ලෙසින්.  ළමා ගායකයෙක් වීමට ගුවන්විදුලිට පැමිණියත් එම පරීක්ෂණයෙන් අසමත් වූ ඔහුට සිදු වුණේ පිටපත් කියවන්නෙක් වීමටයි.

එලෙසින් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ළමා පිටියේ   පිටපත් කියවීමෙන් නිවේදනයට  පිවිසුණු  ඔහු1967 දී සහන නිවේදකයෙක් ලෙස ශ්‍රී ලංකා ගුවන්දුලියත් සමග නිවේදන වෘත්තියට  එක් වෙනවා. 1969 දී අනියම් සම්පාදක නිලධාරී තනතුරට පත් වන ඔහු 1974 දී 2 ශ්‍රේණියේ නිෂ්පාදකවරයෙක් හා නිවේදකයෙක් ලෙස උසස් වීම් ලබා ගන්නවා. ඔහු ඔහුගෙ එකම කාව්‍ය සංග්‍රහය වූ ‘නොසැලෙන ඉන්ද්‍රකීලයක් සේ ’’පොතේ සඳහන්කර ඇති ආකාරයට ඔහුට ගුවන්විදුලි මයික්‍රපෝනය හුරු කර ඇත්තේ කරුණාරත්න අබේසේකරයන් විසිව්. එලෙසින්ම ඔහුට පෑන  හුරුකර ඇත්තේ ආතර් යූ අමරසේකරයන් විසින්.

 

ඔහු ජීවිතයේ අර්බුද රැසකට සිනහවෙන් මුහුණ දුන් සුන්දර මිනිසෙක්. රැකියාවවිවාහයදියණිය... මේ  සියල්ල අවසානයේ ජීවිතයත් ඔහුට අහිමි වුනා. ප්‍රේමය පිළිබඳ බොහෝ දේ දත් ප්‍රේම්ගේ පළමු විවාහය  අසාර්ථක වීම් හමුවේ  ඔහු දෙවැනි  විවාහයක්ද සිදු කරගන්නවා. 


1969 සිට 1977 දක්වා කාලය තුල 12 වතාවක් වැඩ තහනමට ලක්වූ ප්‍රේම් 1977 දී වැඩ තහනම් කොට අනිවාර්ය නිවාඩු යැවීම සිදු වෙනවා. ඒ දේශපාලන චෝදනා හා දේශපාලන පළිගැනීම් මත. නමුත් ඔහු කිසි විටෙක විද්‍යයුත් මාධ්‍ය භූමිකාව තුල දේශපාලනීකරණය නොවී නව්‍යකරණය සොයා ගිය නිදහස් මාධ්‍යවේදියෙක්නිවේදකයෙක්වැඩසටහන් නිෂ්පාදකයෙක් මෙන්ම සොඳුරු ගී පද රචකයෙක්.  සැරිසරශනිදා සාදයසොඳුරු සෙවණ වැනි වැඩසටහන් තුලින් රේඩියෝ කලාව තුල නව ආකෘතියක් ගොඩ නගන්නට ඔහු සමත් වුණා. එමෙන්ම ඔහුගේ වෙනස් ආකෘතීන් ගුවන්විදුලි කලාව තුල නවමු වැඩසටහන් බිහිවන්නට මූල බීජය වූයේ නිතැතින්.

 




1977 වසරේ අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව නැවත පාලනාධිකාරිය විසින් ඔහුව සේවයට කැදවන්නේ, ඔහුට විඳින්නට සිදු වූ අසාධාරණකම් පිළිබඳව   සමාජයෙන් වසන් කොට සුපුරුදු පරිදි සේවයේ යෙදිය යුතු යැයි බලපෑම් ද සමඟින්. නැවත ගුවන්දුලියට පැමිණි දින  ඔහු මැදිරියට ඇතුලූ වන්නේ ඒ පිළිබඳව කෝපයකින්. ඒ මොහෙතේ සජීවී වැඩසටනහක්  විකාශය වෙමින් පැවතුණා. හිතේ පුපුරු ගසමින් තිබූ කෝපයෙන්ම ඔහු අසල තිබූ පුටුවක් පැත්තකට අදිනවත් සමඟම ඒ පුටුව බිමට වැටෙන්නේ වැඩසටහන ට බාධා වනතරමේ විශාල ශබ්දයක් සමඟ. ඉන් අනතුරුවයි කලකට පසු හිතාදර ප්‍රේම් තම ශ්‍රාවක සමුදාය අමතන්නේ.

 

 ‘‘සමාවෙන්න හිතවතුනි, මම ප්‍රේමකීර්ති ද අල්විස්. නැවත ඔබ හමුවට ආවා. ඒ ඔබට ඇසුණු විශාල ශබ්දය පුටුවක් පෙරලෙන ශබ්දය මිස මම වැටුණ ශබ්දය නෙවෙයි  ඒ ඔහුගේ කේන්තිය පිටවූ ආකාරයයි.

 

පාලනාධිකාරියේ විවිධ හිරිහැර වලට ලක්වූ ඔහුට අනුරාධපුරයේ රජරට සේවයට මාරුවීමක් ලැඛෙන්නේ දඬුවමක් ලෙස. එහිදී ඔහු ජීවිතයේ සුන්දරම කාලයක් ගත කරන්නේ රජරට සේවයේ ගුණදාස කපුගේ, රන්බණ්ඩා සෙනෙවිරත්න, කරුණාරත්න දිවුල්ගනේ , රත්න ශ්‍රි විජේසිංහ, ජයතිලක බණ්ඩාර සහ මහින්ද දිසානායක වැනි ශිල්පීන් සමඟ.

 

80 දශකයේ දී ලංකාවට රූපවාහිනිය පැමිණීමත් සමඟ රූප මාධ්‍ය ජනතාව අතරට ශීඝ්‍රයෙන්  පැතිර යන්නට වුණා. ඒ සමඟම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයටද ඔහු සම්බන්ධ වුණේ තමන්ගේ රූ සපුව පිළිබඳව ඔහුට ඇති වූ ගැටළු නොතකමින්. සමාජ අසාධාරණකම් වලට එරෙහිව ඒ පිළිබඳව හඬ නැගූ ‘‘අඳුන” වැඩසටහනත්, සෑම ඉරිදාම විකාශය වූ ‘‘ආයුබෝවන්වැඩසටහනත් තුලින් ඔහු   ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා.

ගීත රචනය ඔහුගේ ජීවිතයේ තවත් එක් සුන්දර පැතිකඩක්. ඔහු ගීත කලාවට අත්පොත් තබන්නේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති නන්දසිරි ගායනා කළ ‘‘හද පුද අසුනේ සෙනෙහස මැවුනේ” ගීතයෙන් . ඒ 1969 දී . කේ ඒ ඩබ්ලිව් පෙරේරා  අධ්‍යක්ෂණය කළ ‘‘ලොකුම හිනාවචිත්‍රපටයට ප්‍රෙඩී සිල්වා ගායනා කරන ‘‘පරණ කෝට්” ගීතයෙන් ඔහු චිත්‍රපට කලාවේ ගීත රචනයට පිවිසෙනවා. ශ්‍රාවකයන්ට සමීපවන්නට ගුවන්විදුලිය පමණක් තිබූ ඒ  කාලයේ ගීත අසන්නට ලැබුණේ බොහෝ දෙනෙක්ට ජාතික ගුවන්විදුලිය තුලින්. ගුවන්විදුලියේ බිත්තිය මත තබා ගී පද ලියූ ප්‍රේම්, ජනප්‍රිය ගායක ගායිකාවන් බොහෝ දෙනෙකුට ගීපද සපයා තිබෙනවා සේම බොහෝ ගායක ගායිකාවන් ජනප්‍රිය කරවන්නටද පද සපයා තිබෙනවා.



සමීපතම මිත්‍ර ආචාර්ය වික්ටර් රත්නායකන්ට හැඟුම් වලට ඉඩ දී ඔහුගේම ලොවේ තනි වන්නට පාර කැපූ ප්‍රේම්, මර්වින් පෙරේරාගේ ඇය මුණ ගැහුණු නගරය හිතින් මවන්නට සමත් වුණා.  ‘‘මා එක්ක අමනාප වී” ‘‘කන්ද කෙන්ද කරනු පිණිස විශාරද  මාලනී බුලත්සිංහලට පද දුන් ප්‍රේම්,  කුන්ඩුමණීට පෙම් කළ රංගන ශිල්පී  ප්‍රෙඩී සිල්වාටත් පාන්කිරිත්තා සමඟින් පාඩම් කියා දෙන්නටද  පද ලබා දුන්නා. ගායන ශිල්පී ප්‍රියා සූරියසේනට එකම වීදියේ දෙතුන් වතාවක් ආදරනීය නේරංජනා සමඟ එහා මෙහා ඇවිදින්නටද පාර සොයා දුන්නේ ප්‍රේම්. එපමණක්ම නොව දෙගොඩ තලා ගඟ ගලා යන විට  ,සිතින් නොසැලී සිටින්නට ටී  එම්  ජයරත්නයන්ට කියා දුන්නේද ඔහුයි. අවසර නැති විට ඇගේ අත ගන්නට, එදා රෑ ගුවන් තොටුපොළේදී වෙන්ව යන්නට තරම්  ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චිගේ සිත ශක්තිමත් කළේ වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර මිනිසෙකු වූ ප්‍රේම්. 

 

කොතරම් සුන්දර වුවත් ඒ සුන්දරත්වය විදින්නට නොදත් කුහක නරුමයන් මේ සමාජයේ අද මෙන්ම එදත් සිටියා. ඒ නිසාමදෝ ප්‍රේම්ගේ චිත්තය තුල මරණයේ අඳුරු සේයා ඇඳී තිබූ බව ඔහුගේ සමීපතමයන් පවසා තිබෙනවා. දිනක් ඔහු තම දියණිය වූ සුරංගි ද අල්විස්ට ලබා දුන් පොතක මෙලෙසින් ලියා තිබෙනවා.

 

‘‘ඔබ යුවතියක් වන දින මම පස් ගොඩක් පමණි දුවේ… එය පාගන්න.

 

ඔහුගේ හිතේ මැවුණු ඒ මරණයේ සේයා වල පෙර ලකුණු මෙසේ ඔහු සටහන් කලා දැයි විටෙක සැකයක් මතු වීම සාධාරණ නොවේදකෙසේ නමුත් ඒ සුන්දර මිනිසාගේ අවසානය සිදුවන්නේ නරුම මෘග රැලක රුදුරු වෙඩි පහරවල්වලින්. මෙවන් සුන්දරතමයෙකු එවැනි අයුරින් කෘර ලෙස ඝාතනය කිරීමට තරම් ඔවුන් නින්දිතයින් වී තිබුණා. ඒ 1989 ජූලි 31වැනිදා.

 

 අදටත් ජනප්‍රිය ගීත ගණනාවක් ලියැවී ඇත්තේ ප්‍රේම්ගේ අතින් බව ඔබ නොදන්නවා ඇති. මේ හැම ගීයකටම වගේ ගැඹුරු අර්ථයක් තියනවා. ප්‍රේම්ගේ ජනප්‍රිය ගීත මොනවාද? ඒවා ලියවුණේ ඇයි? ඊළඟ ලිපියෙන් බලමු.

 

සටහන

මහේෂ් ප්‍රදීප් අබේකෝන්  






Share