කුඩු චූදිතයා අනූ නවයෙන් එල්ලුම් ගහෙන් බේරුණු හැටි

Staff Writer | Author . Translate to English or தமிழ் 29. 06. 2019 | 10.43pm
කුඩු චූදිතයා අනූ නවයෙන් එල්ලුම් ගහෙන් බේරුණු හැටි

“මෙය වරෙක මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සේවය කළ දැනට අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස විශ්‍රාම ගොස් සිටින විනිසුරුවරයෙක් මට පැවසූ කතාවකි.

ඔහු මත්ද්‍රව්‍ය නඩුවක් විභාග කොට නඩුවේ තීන්දුව ලීවීමට සූදානම් කොට තිබුණේය.සාක්ෂි කියවා බැලූ ඔහු නිගමනය කළේ චූදිතයා වැරදිකරු බවයි.චූදිතයා චෝදනාවන්ට වැරදිකරු කරමින් පසුදින නඩුවේදී ප්‍රකාශ කිරීමට නියමිත නඩු තීන්දුව ලියා අවසන් කළේය.එහි දඬුවම විය යුත්තේ ජීවිතාන්තය තෙක් සිර දඬුවම හෝ මරණ දඬුවම ය. 

අවංක හා ආගමට දහමට ලැදි පුද්ගලයෙක් වූ එම විනිසුරුවරයා අපරාධවලට එරෙහි දැඩි ප්‍රතිපත්තියක සිටි විනිසුරුවරයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.නමුත් ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත විනිශ්චය ගැන ඔහුගේ සිත දිගින් දිගටම කරදර කළ අතර, එදින නොසන්සුන් රාත්‍රියක් ගත කළේය. ඔහු පසුදින උදේ පාන්දරින්ම අවදි වූ අතර නැවත වරක් සාක්ෂි කියවීමට තීරණය කළේය. තුන්වන හෝ හතරවන වතාවට ඔහු සාක්ෂි කියවන විට ඔහුගේ අදහස වෙනස් විය.නඩුවේ පැමිණිල්ලේ අඩුපාඩු සහ ඔහු කලින් දැක නොතිබූ පොලිස් අනුවාදයේ හිඩැස් ඔහුට දැකගත හැකි විය. චූදිතයා වැරදිකරු බවට ඔහු විසින් රචිත තීන්දුව ඉරා දමා විත්තිකරුට නව තීන්දුවක් ලිවීමට පටන් ගත්තේය. එදින උදෑසන අදාළ නඩුවේදී හෙතෙම චූදිතයා නිදහස් කළේය.

එදිනම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා ඔහුව නිලමැදිරියේදී හමුවී “ස්වාමීනි, ඔබ ඒ මිනිසා චෝදනාවෙන් නිදහස් කිරීම හොඳ දෙයක්. මම කලින් ඔබට කිව්වේ නැහැ. නමුත් එක් පොලිස් නිලධාරියෙක් මට කිව්වා විත්තිකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගත්තේ නෑ කියලා. ”ඒ මොහොතේම විනිසුරුවරයා වික්ෂිප්ත විය. ඔහු ඒ මිනිසා වරදකරු කළා නම් සිදුවන්නේ කුමක්ද? එසේනම් ඔහු වරදකරුවෙකු නොවූ මිනිසෙකු එල්ලුම් ගහට හෝ ජීවිතාන්තය දක්වා සිරගෙට යවනු ඇත.

එල්ලුම් ගහේ වැඩ ආරම්භ වන තෙක් උනන්දුවෙන් බලා සිටින අයට කියන්නට ඇත්තේ, යුක්තිය පසිඳලීමේ ක්‍රමය මුළුමනින්ම රඳා පවතින්නේ මිනිසුන් වන පොලිසිය, නඩු පවරන්නන්, විත්තිකරුවන් සහ විනිසුරුවන් මත කියාය. අප සියල්ලන්ම සර්ව සම්පූර්ණ පුද්ගලයින් නොවන අතර අප අතින්ද වැරදි සිදුවිය හැකිය.

මිනිසෙකු මරණ දඬුවමට භාජනය කිරීමේදී ඇති එකම වෙනස වන්නේ ඔබට එම වැරැද්ද කිසි විටෙකත් යලි  නිවැරදි කළ නොහැකි වීමයි. 

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ සටහනක සිංහල පරිවර්තනයකි


Share