ප්‍රහාරය සිදුවූ උදෑසනත් මට තොරතුරු ලැබුණා-පොලිස්පති

Staff Writer | Author . Translate to English or தமிழ் 06. 06. 2019 | 10.01pm
ප්‍රහාරය සිදුවූ උදෑසනත් මට තොරතුරු ලැබුණා-පොලිස්පති

බෝම්බ ප්‍රහාරය එල්ල වූ පාස්කු ඉරිදා දිනට පෙර දා (20) රාත්‍රී 7.00 ත් 8.00 ත් අතර රාජ්‍ය බුද්ධි තොරතුරු සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා ‘හෙට දවස භයානක විය හැකි බවත් මොනයම් හෝ දෙයක් සිදුවිය හැකි බවත්‘ දුරකථනයෙන් අමතා ප්‍රකාශ කළ බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසීය.

"Tomorrow will be dangerous. Something can be happened," (හෙට දවස භයානක වෙන්න පුළුවන්. මොනයම් හෝ දෙයක් වෙන්න පුළුවන්.)  

පසු දිනත් ජයවර්ධන මහතා තමන්ට දුරකථනයෙන් අමතා “මොනවා හරි වෙන්න පුළුවන්“යැයි ප්‍රකාශ කළ බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් අද (06) ඒ මහතා මේ බව කීය.

2018 ඔක්තෝබර් මාසයේ සිට තමන්ට ආරක්ෂක කවුන්සිලයට පැමිණීමට අවශ්‍ය නැති බවට ජනාධිපතිවරයා පැවසූවැයි එවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා පැවසූ බව පූජිත ජයසුන්දර මහතා පැවසීය.

“මම ඇහුවා ලේකම්තුමාගෙන් අද සිකුරිටි කවුන්සිල් තියෙනවා නේද කියලා.ඔව් කිව්වා.මම කිවුවා දැන් 4.30ටත් ලගයි මටනම් තාම කවුරුත් කිව්වේ නෑ කියලා.එතකොට මට එතුමාගෙන් දැනගන්න ලැබුණා.ඒ කියපු වචන වලින්ම කිව්වොත්- සමාවෙන්න පූජිත්,ඔයාව අපහසුතාවට පත්කරන්න ඕනේ වුණේ නෑ.නමුත් ඔයා අහපු හින්දා මේ කියන්නේ.මේක තමයි සිද්ධ වුණේ.HE කිව්වා ඔයාට කියන්න එපා කියලා.HE කිව්වේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රිත සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා.කවුරුත් මා වෙනුවෙන් එවන්න අවශ්‍ය නැද්ද කියලා අහපුවම අවශ්‍ය නෑ කිව්වා.මොකක් හරි වුණොත් අවශ්‍යතාවක් තිබුණොත් මං කියන්නම් කියලා කිවුවා.“

"ජනාධිපතිවරයා මට කිව්වා පරීක්ෂණයකදී වරදකරු හැටියට ඔබව පත්වෙනවාමයි. ඒ නිසා පැන්ෂන් එකත් නැතුව ගෙදර යනවද,වරද පිළිගෙන අස්වීම දෙනවද කියලා. සිව් වතාවක් විතර ඒක ඇහුවා. මට මෙතනදි පැහැදිලි කරලා කිව්වා එතුමා, රජයේ ඉහළ තනතුරක් හෝ තානාපති තනතුරක් දෙන්නම් කියලා. මට ඇත්ත වශයෙන්ම හරි කණගාටු හිතුණා."


ආචාර්ය ජයම්පති වික්‍රමරත්න -  අපි මේ සාක්කිකරුවන් දෙන සාක්කි කොහොමද රටට හෙළිදරව් කරන්නේ කියන ප්‍රශ්නය ගැන සාකච්ඡා කළා. අපි ඒ සඳහා යොදා ගන්නේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ සඳහන් කරලා තිබෙන තොරතුරු දැන ගැනීමේ අයිතිය. එම තොරතුරු හෙළිදරව් වීම ජාතික ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවයට බරපතල ලෙස අගතිදායක නම් එම තොරතුරු හෙළිදරව් නොකර ඉන්න පුලුවන්. බරපතල ලෙස අගතිදායක කියන තැනට නොයා අගතිදායක කියන දේ අපි යොදා ගන්නවා. අගතිදායක නම් අපි මාධ්‍ය නැතිව සාක්කි ගන්නවා.

ජයම්පති වික්‍රමරත්න - පොලිසියේ යම් විශේෂ අංශ තිබෙනවාද ඔබට  කෙළින්ම වාර්තා කරන?

පොලිස්පති පූජිත් ජයසුන්දර - ඔව්

ජයම්පති - මොනවද ඒවා?

පූජිත් - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කෙළින්ම සම්බන්ධ වෙන්නේ පොලිස්පති සමඟ. ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය කළින් තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් සමඟ සම්බන්ධිතව. නමුත් පරිපාලනමය හේතු නිසා ඒක මම මගේ යටතට ගත්තා. විනය පාලන අංශය, පිරිස් පාලන අංශය වගේ ඒවා. මට දැනට මතකයේ තිබෙන්නේ එච්චරයි.

ජයම්පති - රාජ්‍ය බුද්ධි සේවාවේ (එස්.අයි.එස්) අධ්‍යක්ෂවරයා කෙළින්ම වාර්තා කරන්නේ පොලිස්පතිට කිව්වොත් නිවැරදිද?

පූජිත් - නෑ. වැරදි.

ජයම්පති - කාටද ඔහු වාර්තා කරන්නේ?

පූජිත් - ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂක අමාත්‍යංශය යටතේ තමයි ඉස්සර ඉඳන් පැවතුනේ. පසුව පොලිසිය නීතිය හා සාමය අමාත්‍යංශය යටතට ස්ථිර ලේකම්වරයෙක් සමඟ වැටුනා. ඉන් පසු නැවතත් ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනුනා. ඒක මෑත කාලීනව සිද්ධ වෙච්ච දෙයක්. කලිනුත් ඉන් පසුවත් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යංශය යටතට අනියුක්ත කරලයි තිබුණේ. ඒක බාරව ඉන්න නිලධාරියා වග කියන්නේ මා දන්නා තරමින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට.

කමිටු සාමාජිකයෙක් - පොලිසිය නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ තියෙද්දිත් රාජ්‍ය බුද්ධි අංශය අධීක්ෂණය කරන පොලිස් නිලධාරියා වාර්තා කරන්නේ වෙනත් අමාත්‍යංශයකටද?

පූජිත - ඔවු. පරිපාලනමය කටයුතුවලදී පොලිස් මූලස්ථානය යටතේ. මෙහෙයුම් කටයුතු වලදී ඔවුන් ආරක්ෂක ආමාත්‍යංශය යටතේ.

රාජ්‍ය බුද්ධි සේවා මධ්‍යස්ථානයට පොලිස්පතිවරයා ලෙස හෝ වෙනත් තනතුරක සිටියදී තමා ගොස් නැතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

ජයම්පති - පොලිස්පතිවරයා ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක්ද?

පූජිත - එහෙමයි සභාපතිතුමනි

ප්‍රශ්නය - ඔබ පත්වූදා ඉඳන් ආරක්ෂක මණ්ඩලයට සහභාගී වුණාද? ඒකට කැඳවන්නේ කවුද?

පූජිත - ඒකට සාමාන්‍යයෙන්  ආරක්ෂක ලේකම් තමයි දැනුම් දෙන්නේ.  මම 2016 අප්‍රේල් 20 වැනි දින පොලිස්පති ලෙස පත්වූදා ඉඳලා දිගටම සහභාගී වුණා එක්තරා කාලයක් වනතුරු. මගේ මතකයේ හැටියට 2018 ඔක්තෝබර් මාසයේ.

ප්‍රශ්නය - ඔක්තෝබර් කවුන්සිලයට සහභාගී වුණාද?

පූජිත - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ මාරුවීමක් සම්බන්ධ කාරණයකට මට මතක හැටියට ඔක්තෝබර් 23 වැනි දා සහාගී වුණා. ඒ ඇරුණුකොට ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩලයට සහභාගී වෙන්න අවශ්‍ය නෑ කියන උපදේශය මට ලැබුණා.

ප්‍රශ්නය - කාගෙන්ද ලැබුණේ? ලිඛිතවද? වාචිකවද?

පූජිත - වාචිකව ලැබුනා. එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හැටියට හිටියේ කපිල වෛද්‍යරත්න මහත්මයා. ඒක සාමාන්‍යයෙන් යන්නේ වාචිකව. එදා දිනේ මට මතක නෑ. මට දැනුම් දීමක් නොකළ නිසා මම ආරක්ෂක ලේකම්ගෙන් ඇහුවා අද ආරක්ෂක මණ්ඩලේ තියනවා නේද කියලා. ඔව් තියනවා කිව්වා. හතර හමාරත් පහුවෙලා මටනම් තවම දැනුම්දීමක් ලැබුණේ නෑ කියලා මම කිව්වා. ඒ කියපු වචනවලින්ම කිව්වොත් ‘සමාවෙන්න පූජිත්,ඔයාව අපහසුතාවට පත්කරන්න ඕනේ වුණේ නෑ.නමුත් ඔයා අහපු හින්දා මේ කියන්නේ.මේක තමයි සිද්ධ වුණේ.HE කිව්වා ඔයාට කියන්න එපා කියලා“

කවුරුත් මා වෙනුවෙන් එවන්න අවශ්‍ය නැද්ද කියලා අහපුවම අවශ්‍ය නෑ කිව්වා.මොකක් හරි වුණොත් අවශ්‍යතාවක් තිබුණොත් මං කියන්නම් කියලා කිවුවා.

ප්‍රශ්නය -  HE කිව්වේ කවුද?  

පූජිත් - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා. අපේ ජනාධිපතිතුමා කිව්වයි කියලා මට කපිල වෛද්‍යරත්න මහත්තයා කිව්වා.

රාජිත - පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙක් නේද?

පූජිත් - එහෙමයි

රාජිත - පොලිස්පතිවරු දෙන්නෙක් නැහැනේ. ලංකාවේ ඉන්නේ එක පොලිස්පතියි. පොලිස්පති එහි නිත්‍ය සාමාජිකයෙක්.කවුරුවත් කිව්වයි කියලා ඔබ කොහොමද ඒකට සම්බන්ධ නොවී ඉන්නේ?

පූජිත් - කවුරුවත් නෙමේනෙ මැතිතුමනි කිව්වේ, මගේ ආරක්ෂක ලේකම්නේ. ආරක්ෂක ලේකම්තුමා තමයි ඒක කැඳවන්නේ.

රාජිත - පොලිස්පති කැඳවන්න හෝ නොකැඳවන්න ආරක්ෂක ලේකම්ට බලයක් තිබෙනවා කියා ඔබ හිතනවද?

පූජිත් - සියලුම සාමාජිකයන් කැඳවන්නේ ආරක්ෂක ලේකම්. ඒක වාචිකව දෙන දැනුම්දීමක්.

සරත් ෆොන්සේකා - ඔක්තෝබර් 23 වැනිදා සිට ඔබ විශ්‍රාම යනකම්ම ඊට පස්සේ කැඳෙව්වේ නැද්ද?

පූජිත් - ඛේදවාචකය ඉවර වෙලා පස්සේ තිබුණ එකට සහභාගී වුණා. අප්‍රේල් 23.

ප්‍රශ්නය - ඔක්තෝබර් 23 වැනි දා සිට අප්‍රේල් 23 වැනි දා දක්වා මාස හයක කාලයේ පොලිස්පති ආරක්ෂක කවුන්සිලයට සහභාගී වුණේ නැද්ද?

පූජිත් - නෑ

ෆොන්සේකා - ඔක්තෝබර් 23 ආරක්ෂක කවුන්සිලයට ඔබව කැඳෙව්වා කියන්නේ පොලිස් පරීක්ෂකවරයකුගේ ස්ථානමාරුවක් ගැන කතා කරන්න. නමුත් ආරක්ෂක කවුන්සිලයේ කතා කරන්නේ පරිපාලනමය දේවල් නෙමෙයි. කතා කරන්නේ මෙහෙයුම් ගැන. ඒ කියන්නේ ආරක්ෂක කවුන්සිලයේ විෂය පථයෙන් පිට දේවලුත් කතා කරලා තියෙනවා?

පූජිත් - ඔව්

නලින්ද ජයතිස්ස - නාලක සිල්වා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සිටින කවර හෝ කාලයක ඔබට දැනුම් දී තිබෙනවාද තවුහිත් ජමාත් සංවිධානය තහනම් කරන්න කියලා?

පූජිත් - ඛේදවාචකය සිදුවූ ගමන්ම මතවාදයක් ගොඩනැගුනා පොලිස්පතිගේ වරදින් තමයි මේක වුණේ කියලා. තවමත් තිබෙනවා.අද වෙනකම් මම මාධ්‍යට හෝ වෙන කෙනකුට මේ ගැන පැහැදිලි කරලා නෑ.මට කිසිම අවස්ථාවක් තිබුණේ නැහැ නිශ්චිතව කරුණු ඉදිරිපත් කරන්න. මම පොලිස්පතිවරයා හැටියට මාධ්‍යට කතා කරන්න ගියෙත් නෑ. මම ඒ ගැන කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නම්.

අයිස් ඔන්ලි කියලා සාමාන්‍යයෙන් පිළිගන්නේ මේක එවන්නේ ඒ බලන මනුස්සයාගේ ඇහැට විතරයි. මාධ්‍යවල ගියා හය හතර වෙනිදා මේ තොරතුරු හම්බුණා කියලා. මට හතර වෙනිදා ලැබුණේ නෑ. මට ලැබුණේ  අප්‍රේල් අට වැනිදා.   

සභාපති - අපි පිළිවෙළට යං. අප්‍රේල් 04 වැනිදා ගැන යම් සඳහනක් තිබෙනවා. 2019 අප්‍රේල් 04 වැනිදා ඔබට තොරතුරක් ලැබුණද?

පූජිත් - නෑ. අප්‍රේල් 09 වැනිදා තමයි මට මේක ලැබුණේ. අප්‍රේල් 09 වැනි දා බුද්ධි තොරතුරු විශ්ලේෂණ රැස්වීමක් ආරක්ෂක අමාත්‍යංශයේ තිබුණා. මම එදා එතන හිටියා. ඒ වෙනකොටත් මේ තත්ත්වයෙන් සාකච්ඡාවට භාජනය වුණේ නෑ.

හකීම් - වෙනත් වචනවලින් කියනවා නම් මෙය ප්‍රධාන මාතෘකාවක් හැටියට නෙමෙයි පරිබාහිර කරුණක් හැටියට සාකච්ඡා වුණා කියලද කියන්නේ?

පූජිත් - ඇත්තමයි.

සාමාජිකයෙක් - ඊට කලින් මේ ගැන දැනගෙන හිටියේ නැද්ද?

පූජිත් - කිසිම දෙයක් දන්නේ නෑ. පසුව හවස් වෙනකොට මට මේ ලියුම ලැබුණා. ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් එව්ව පේපර් එකකත් එක්ක තව ඉංග්‍රීසී පේපර් එකක් තිබ්බා. ඊට පස්සේ එස්අයිඑස් එකේ සිංහල ලියුමක් තිබ්බා. පළමුවැනි ලියුමේ ටොප් සීක්‍රට් කියලා තිබුණට මරාගෙන මැරෙන ප්‍රහාර ගැන සහ නොබෝ දිනකින් පල්ලි ඉලක්කරගෙන ප්‍රහාර එල්ල කර ගැනීම ගැන. ආරක්ෂක ලේකම් වෙනුවෙන් බුද්ධි ප්‍රධානියා අත්සන් කළ එක මම සලකන්නේ නියෝගයක් කියලයි. මෙය ගොඩක් සීරියස් නිසා අයිස් ඔන්ලි කියන එක මම සැලකුවේ නැහැ. මගේ ඇහැට විතරක් මේක තිබිලා වැඩක් නැහැ. ඉන් පසු මේක කාටද දැනුම් දෙන්නේ කියලා මම තීරණය කළා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වෙනුවෙන් මම නිශ්චිතව යෙදුවේ බස්නාහිර පළාත මර්මස්ථාන වැඩිම ප්‍රමාණයකින් තිබුණු තැනක් නිසා.  සහ මුලු දිවයිනේම රථවාහන සම්බන්ධ භාරත් ඔහු නිසා. එම රාජකාරිවල ඇති බරපතලකම සහ වැදගත්කම නිසා මම ඔහුව තෝරා ගත්තා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ.

සාමාජිකයෙක් - කවදද ඒ?

පූජිත් - එදාමයි. ඊළඟට මම ගත්තේ අපරාධ සහ පොලිස් විශේෂ කාර්ය බළකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. මගේ නිර්දේශයක් අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ එම් ආර් ලතීෆ් මහත්මයා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී හැටියටත් පත් කරලා ඊට පසුව අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාරව හිටියා. ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂාව යොදනු ලබන්නේ විශේෂ කාර්ය බළකාය මගින්. තුන් වැනියට තිබෙන්නේ ඩීඅයිජී එස්පීආර් කියලා. ඒකෙන් අදහස් වන්නේ විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසයි. විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ඉන්න ප්‍රියලාල් දසනායක මහත්මයා ඇමති ආරක්ෂක අංශය, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක අංශය හතර සහ පහ, අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, තානාපති ආරක්ෂක කොට්ඨාසය භාරව කටයුතු කරන නිසා මේක දැනුම්වත් වෙන්න ඕනා කියන තීරණයට මම එළඹුනා. ඊළගට තිබෙන්නේ ඩිරෙක්ටර් කවුන්ටර් ටෙරරිසම් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන්. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය. 

Share