ඔහු 10 වැනිදා සිට ගෙදරමයි : රට ගිය කතා බොරු - මීගමු කොරෝනා ආසාධිතයාගේ පවුලේ කතාව

31. 03. 2020 | 7.27pm
ඔහු 10 වැනිදා සිට ගෙදරමයි : රට ගිය කතා බොරු - මීගමු කොරෝනා ආසාධිතයාගේ පවුලේ කතාව

නව කොරෝනා වෛරසය (COVID_19) අසාධනය වීමෙන් මීගමුව රෝහලේ දී ඊයේ ජීවිතක්ෂයට පත්වූ බව කියන රෝගියා පසුගිය මාර්තු 09 වැනිදායින් පසු ප්‍රතිකාර ගැනීමට මිස වෙනත් තැන්වලට නොගිය බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන දෑ සම්පූර්ණයෙන් සාවද්‍ය බවත් මිය ගිය පුද්ගලයාගේ ළඟම ඥාතියෙක් MediaLK.com වෙත ප්‍රකාශ කළේය.

ඔහුගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා ඥාති සම්බන්ධතාවය ප්‍රසිද්ධ නොකරන්නෙමු. ඔහු ප්‍රකාශ කළ කතාව ඥාති සම්බන්ධය අනාවරණය නොවන පරිදි සුළු වෙනස්කමකට භාජනය කර මෙසේ සටහන් කරමු.

''මිය ගිය පුද්ගලයාට ඊට මාස හතරකට විතර කලින් ඩෙංගු හැදුණා. ඉන් පස්සේ සුළු අසනීප තත්ත්ව තිබ්බා. ඔහුගේ එක පුතෙක් ඩුබායි ඉන්නේ. ඒ පුතා ඩුබායි ඉඳන් පෙබරවාරි 14 වෙනිදා ලංකාවට ආවා. ඔහු යලිත් පෙබරවාරි 27 ඩුබායි බලා ගියා. ඔහුට හෝ ඔහුගේ පවුලේ කාටවත් මේ වනතුරු රෝගය හෝ රෝග ලක්ෂණ නෑ.

මිය ගිය පුද්ගලයා මාර්තු හත් වැනි දා බස් රථයෙන් යාපනය බලා ගියා. මාර්තු නව වැනි දා යළිත් වරක් ආවා. ඉන් පස්සේ කිසිම තැනක ගියේ නෑ.  ඉන් පස්සේ මාර්තු 25 වගේ ඔහු වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගත්තා. ඊට දවසකට පස්සේ ආයේ ටිකක් අමාරු වෙලා වෛද්‍යවරයකු හමුවෙලා සේලයින් එකක් දීලා මැනිපියුලේට් කරං ආවා. ඇවිත් බෙහෙත් බිව්වා.ඊට පස්සේ 29 වැනිදා වෙනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව හිටියා. 29 එයාට අන්ෆිට් වගේ තිබ්බ නිසා පෞද්ගලික රෝහලකට එක්කගෙන ගියා. 

එම පෞද්ගලික රෝහලේ ඕපීඩී එකෙන් බැලුවා. නමුත් බාර ගත්තේ නෑ. කිසිම ටෙස්ට් එකක් කළෙත් නෑ. එහෙන් කිව්වා රජයේ රෝහලට අරගෙන යන්න කියලා. පස්සේ රෝහලට අරගෙන ගියා. ඔවුන් කිව්වා ඔක්සිජන් ටිකක් මදි වගේ කියලා. හොස්පිටල් එකෙන් අහපු දේවල්වලට පිළිතුරුත් දුන්නා. පස්සේ අංක .. වාට්ටුවට ඇතුළත් කරලා ප්‍රතිකාර කළා. 

අර පෞද්ගලික රෝහලෙන් කියලා තියනවා කොරෝනා සැක රෝගියෙක් ආවා කියලා.මෙයාව  පස්සේ රෝහලේ අයි.සී.යූ එකට දැම්මා. ඉන් පස්සේ හොස්පිටල් එකෙන් මොනවත් අපට කිව්වේ නෑ. 

ඊයේ (30 වැනිදා) හවස සමාජ මාධ්‍යවල ගියා එයාගේ නමත් එක්ක කෙරෝනා හැදිලා මැරුණා කියලා. අපිත් එතකොටයි දන්නේ. අපිට නිල වශයෙන් දැනුම් දීමක් කළේ නෑ. කොරෝනා තිබෙනවා කියන වාර්තාවක්වත් අපි තවම දැකලා නෑ. 

පසුව පීඑච්අයිලයි අනිත් අයයි ඇවිත් ගෙදර අයට කිව්වා එළියටවත් බහින්න එපා කියලා. නිරෝධායනය වෙන්න කිව්වා. ඒ කියපු විදියටම ගෙදර අය කටයුතු කරනවා. 

මැරුණු කෙනාගේ දේහය අපට පෙන්නුවේ නෑ. දේහය උදේ හයට දෙනවා කියලා ඉහළ අයට කියලා තිබ්බා. නමුත් ලැබුනේ නෑ. දේහය පිච්චුවා කියලා පසුවයි පවුලේ අය දැන ගත්තේ.

සමාජ මාධ්‍යවල මේ සිද්ධිය සම්බන්ධයෙන් යන දේවල් බොරු. මේ පවුලේ කිසිම කෙනෙක් දන්නේ නෑ කොරෝනා තිබ්බා කියලා. එහෙම සැක කරන්න හේතුවකුත් නෑ, මොකද 10 වෙනිදා ඉඳන් නිවසෙන් පිට ගිහින් නැති නිසා. මැරුණු කෙනාගේ පුතා රට ඉඳන් ආවෙත් ගිය මාසේ. එයා ගිය මාසෙම ගියා. 

කොරෝනා ආසාදනය වෙලා නම් වෙන්න ඇත්තේ යාපනයේ ගිහින් එද්දි බස් එකේදි වෙන්න පුලුවන්. නමුත් ඒ ගැන අපි හරියටම දන්නේ නෑ. පවුලේ අය දැන් නිරෝධායනය වෙනවා. සමාජ මාධ්‍යවල අසත්‍ය පතුරුවන්න ඉඩ දෙන්න එපා. ඇත්ත කතාව පළ කරන්න.''

Share

COVID-19 Situation Analysis