RTI

උදයංග වීරතුංගට එරෙහි සීඅයිඩියේ විමර්ශන ගැන අධිකරණය පුදුම වෙයි

17. 02. 2020 | 7.20pm
Change Language
උදයංග වීරතුංගට එරෙහි සීඅයිඩියේ විමර්ශන ගැන අධිකරණය පුදුම වෙයි

මිග් යානා ගනුදෙනුවේ පාඩුව වූ ඇමෙරිකානු ඩොලර් මිලියන හතක මුදල රුපියල් විසි පන්දහසට වැඩි මුදලක් බව නොතේරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි විමර්ශන සිදු කරන්නේ කෙසේදැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසනායක මහතා අද විවෘත අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.

මහේස්ත්‍රාත්වරයා එලෙස ප්‍රශ්න කළේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා යළි අද (17) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථායේදීය.

පොදු දේපොළ පනත යටත රුපියල් 25000කට වැඩි වංචාවකට සම්බන්ධ අපරාධයකදී සහකාර පොලිස් අධිකාරීවරයකුගේ සහතිකයක් අවශ්‍ය වුවද මෙම නඩුවට අදාලව එය ඉදිරිපත් කර නොතිබිණි.

මෙම විමර්ශනය අවුරුදු පහක් තිස්සේ කර ඇත්තේ ප්‍රැන්සිස්  නම් පොලිස් නිලධාරියකු බවත් ඔහු හා ඔහුගේ අධීක්ෂණ නිලධාරියා වන පොලිස් අධිකාරිවරයා මෙම විමර්ශනයෙන් ඉවත් කර ස්ථාන මාරු කර ඇති බවත් අධිකරණයේදී කියැවිණි.

අවුරුදු පහක් විමර්ශනය බාරව සිටි ප්‍රැන්සිස් නම් පොලිස් නිලධාරියා සහ අධීක්ෂණ නිලධාරියා ඉවත් කිරීමට හේතු⁣ව කුමක්දැයි යන්න සහ එම විමර්ශන නිලධාරියා යළිත් එම විමර්ශනය බාරව පත් කිරීම සම්බන්ධයෙන් සහ එය කළ නොහැකි නම් ඊට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කළේය.

අවුරුදු පහක් තිස්සේ පරීක්ෂණ සිදුකළ විමර්ශන නිලධාරියා ඉවත් කර ලිපිගොනු පරීක්ෂාවකින් තොරව සැකකරුගෙන් කටඋත්තර ලබා ගන්නේ කෙසේදැයි මහේස්ත්‍රාත් රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසියාකාරව ලිපි ලේඛන ඉදිරිපත් කර නොමැති නිසා සැකකරු මුදාහරින ලෙස සැකකාර උදයංග වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටියහ.

පැමිණිල්ල සතුටු කරන ආකාරයේ තීන්දු  මහේස්ත්‍රාත්වරයකු දිය යුතු නැතැයි මහනාම තිලකරත්න නඩු තීන්දුවේ සඳහන් වන බවත් ඇතැම් නඩුවල විත්තියට ඇප ලැබීමෙන් පැමිණිල්ල සතුටු වන බවත් තවත් නඩු වලදී විත්තිය රිමාන්ඩ් කිරීමෙන් පැමිණිල්ල සතුටු වන බවත් ප්‍රකාශකළ මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීම ප්‍රතික්⁣ෂේප කර සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළේය.

පොදු දේපල යටතේ ඉදිරිපත් කළයුතු සහතිකය ඉදිරිපත් නොකිරීමට හේතු තිබේදැයි අධිකරණය විමසූ අතර සීඅයිඩිය වෙනුවෙන් පැමිනි නිලධාරියා එවිට පැවසුවේ මෙම සහතිකය තමා විසින් ඉදිරිපත් කළ යුතු බවත් තමා අනියුක්ත වී මාසයක් පමණක් බවත්ය.

වාර්තාව නිකුත් කිරීමට පෙර මෙම නඩුව සම්බන්ධයෙන් විමර්ශන පිලිබඳව නැවත බැලිය යුතු බවත් ෆ්‍රැන්සිස් නිලධාරියා තනිව විමර්ශන සිදු කර ඇති බවත් සීඅයිඩිය වෙනුවෙන් පැමිණි නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

ඔහුට විදෙස් සහයද ලැබී ඇති බවත් ඔහු නැවත පත් කිරීමට තමාගේ විරුද්ධත්වයක් නැති බවත් ඔහු අධිකරණයට දන්වා සිටියේය.

එවිට මහේස්ත්‍රාත්වරයා මෙසේ පැවසීය.

"වසර පහක් පොදු දේපල පනත යටතේ වරදක් සිදු කර ඇති බවට වරෙන්තුවක් ගෙන සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ පසුව පොදු දේපල පනත අදාල නැති බව කියනවා.අද දින සැකකරුගේ නීතිඥ මහතා ඉදිරිපත් කළ කරුණු නිවැරැදි යි.පොදු දේපල යටතේ කරුණු වාර්තා කළද පොදු දේපල පනතේ 8 වන වගන්තිය යටතේ දැක්වෙන වටිනාකම දැක්වෙන සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහතිකය ඉදිරිපත් නොකිරීම ගැටලු සහගතයි.ඇප පනත යටතේ ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබේ.පොදු දේපල යටතේ සහතිකය ඉදිරිපත් කර ඇති අවස්ථාවේ දී ඇප ලබා ගැනීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කළ යුතුයි.විශාල ලේඛන සංඛ්‍යාවක් ගොනු කරමින් වරෙන්තුවක් ලබාගෙන පොදු දේපල පනත යටතේ කරුණු ඉදිරිපත් කර තිබියදී වසර පහකට පසුව සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසුව පොදු දේපල පනත අදාල නොවීම අසාමාන්‍යයි.සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ට එය නුපුරුදු ආකාරයෙන් කටයුතු කරයි.ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 400,403 යටතේ වරදක් සිදු වී තිබේද ,පොදු දේපල යටතේ වරදක් සිදු කර ඇති බව පැහැදිලි අවස්ථාවක සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහතිකය ඉදිරිපත් නොකිරීම ද අසාමාන්‍යයි.එම සහතිකය ගොනු නොකිරීම පැමිණිල්ල හිතාමතා සිදු කරන්නක්ද යන්න සලකා බැලිය යුතුයි.රුපියල් 1000ක් සොරකම් කළ පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඇමරිකානු ඩොලර් මිලියන හතක වංචා කිරීමට මහජන කැලබීමක් ඇති නොවීම සම්බන්ධයෙන් හිතාගත නොහැකිය.නිතිපතිවරයා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියද මෙහිදී දෙවිදෙයක් ලෙස පෙනී යනවා.නීතිපතිවරයා පෙනී නොසිටීම සුදුසු ය.එවිට මටම පොලිසිය සමග ගැටලුව විසදා ගත හැකිය.නීතිපතිවරයාගෙ උපදෙස් පිලිපදින්නේ නැතිනම් මීට පස්සෙ නීතිපතිවරයාගෙ උපදෙස් පතනවා කියන්න එපා.අධ්‍යක්ෂවරයා කියනවා බන්ධනාගාරයෙ තියාගෙන ප්‍රකාශ ගන්න බෑ කියලා.නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් නෑ කියනවා.සැකකරුගෙ ඇප ප්‍රතික්ෂේප කරමින් සැකකරු පෙබරවාරි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කරනවා."

Make a Comment