RTI

ඇමෙරිකාවේ තීරණයට විදේශ අමාත්‍යංශයේ දැඩි විරෝධය

17. 02. 2020 | 7.12am
Change Language
ඇමෙරිකාවේ තීරණයට විදේශ අමාත්‍යංශයේ දැඩි විරෝධය

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමෙරිකාව පැනවු සංචාරක තහනම සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මියට සිය දැඩි විරෝධය පළ කළ බව ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙරට පැවති සිවිල් යුද්ධයේ අවසාන සමයේදී මානව හිමිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ ආසන්නම සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා (14) නිවේදනයක් නිකුත් කළේය.

ඉන් අනතුරුව ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විදේශ සබඳතා අමාත්‍යාංශයට කැඳවා තිබිණි.

එහිදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමෙරිකාවේ මෙම පියවරට ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය පළ කර තිබේ.

සිල්වා මහතා ලංකාව ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට විශාල දායකත්වයක් ලබාදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බව අමාත්‍යවරයා එහිදි තානාපතිවරියට ප්‍රකාශ කළ බව එම නිවේදනයේ දැක්වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ ජනාධිපතිවරයකු විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට අදාළ තනතුරකට විශේෂඥතාව ඇති පුද්ගලයකු පත් කිරීම විදෙස් ආණ්ඩුවක් විසින් ප්‍රශ්න කිරීම කනගාටුවට කරුණක් යැයි දිනේෂ් ගුණවර්ධන මහතා තානාපතිවරියට පැවසු බව එම නිවේදනයේ සඳහන් වෙයි. 

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව තිබෙන සබඳතා අනවශ්‍ය ලෙස සංකීර්ණ තත්ත්වයකට පත් කරව බව ගුණවර්ධන මහතා තානාපතිනියට පවසා ඇත. 

ස්වාධීනව තහවුරු නොකරන ලද මූලාශ්‍ර පදනම් කරගනිමින් කර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරන්නැයි ද  අමාත්‍යවරයා ඉල්ලා ඇත. 

2015 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ වාර්තාවක් පදනම් කරගෙන මෙම චෝදනා ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා පවසා තිබේ.

එමෙන්ම එය අපරාධ විමර්ශන වාර්තාවක් නොව මානව හිමිකම් සම්බන්ධ විමර්ශන වාර්තාවක් යැයි ද සඳහන් කර ඇත.

අණදීමේ ධූරාවලියට අදාළව එහි සඳහන් කර ඇති නම් වාර්තාවෙන් එල්ල කරන චෝදනාවලට අපරාධමය වගකීමක් නොදරන බව අමාත්‍යවරයා තානාපතිවරියට ප්‍රකාශ කළ බවද නිවේදනයේ දැක්වෙයි.

පුද්ගලයකු අපරාධ චෝදනාවකට වරදකරු කළ හැක්කේ අධිකරණයෙන් බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මෙම තීරණය නැවත විමසා බලන්නැයි විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ මතය ඇමෙරිකාවට දැනුම් දෙන බව මෙහිදි තානාපතිවරිය අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර තිබෙන සබඳතා තවදුරටත් පවත්වාගැනීමට කැපවෙන බව ද තානාපතිනිය මෙහිදි අමාත්‍යවරයාට පැවසූ බව සඳහන් වෙයි.

සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කළ අවස්ථාවේදී ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය  ඊට විරෝධය ප්‍රකාශ කළේය. 

සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීමේ සිද්ධිය නිසා ශ්‍රී ලංකා යුද හමුදාව ඉදිරියට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යොදවා නොගැනීමට ද එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව ඉකුත් සැප්තැම්බර් පියවර ගෙන තිබිණි.

මේ අතර විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක සීමා පැනවීම සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය පළකරයි.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අද දින (2020 පෙබරවාරි 16) යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද එක්සත් ජනපද රජය විසින් සංචාරක සීමා පැනවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මැතිනිය වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ නිවේදනයෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජයේ ක්ෂණික ප්‍රතිචාරය පසුගිය සිකුරාදා දින (2020 පෙබරවාරි 14) විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබුණි.

ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයත්, ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සනාථ කරන ලද හෝ ඔප්පු කර ඇති චෝදනා නොමැතිවීමත් සැලකිල්ලට ගනිමින් ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා එවකට රාජ්‍ය නායකයා විසින් යුද හමුදාපති ලෙස පත් කරන ලද බව අමාත්‍යවරයා සිය සාකච්ඡාවේ දී අවධාරණය කළේය. වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කරන ලද්දේ, ඔහු දැනට සේවයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වන බැවිනි.

ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා දශකයකට පමණ පෙර ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු බව සඳහන් කළ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ප්‍රධාන තනතුරු දැරීම සඳහා ප්‍රත්‍යක්ෂ ලෙස දන්නා විශේෂඥතාවයෙන් යුත් පුද්ගලයින් කැඳවීමට අදාලව ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු සතු පරමාධිකාරිය පිළිබඳව විදේශ රජයක් ප්‍රශ්න කිරීම කනගාටුවට කරුණක් බව පැවසීය. මෙම ක්‍රියාව මඟින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාවය අනවශ්‍ය ව්‍යාකූලත්වයකට පත්කරන කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙසේ නියම කරනු ලැබීම ස්වාධීනව සත්‍යාපිත තොරතුරු මත නොව, බොහෝ මතභේදාත්මක 2015 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව මත පදනම් වූවක් බව දැනගැනීමෙන් අනතුරුව, එම තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙස අමාත්‍යවරයා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.

මෙය “මානව හිමිකම් පිළිබඳ විමර්ශනයක් මිස අපරාධ පරීක්ෂණයක් නොවන බව” මෙම වාර්තාව මඟින් පැහැදිලි වන බවත්, “විධාන දාමය පිළිබඳ විස්තරයේ දක්වා ඇති නම් මඟින් මෙහි ලැයිස්තුගත කර ඇති උල්ලංඝනයන් සම්බන්ධයෙන් සෘජු වගකීමක් ලෙස හෝ අණ යටතේ හෝ ඉහළ මට්ටමේ වගකීමක් ලෙස සාපරාධී වගකීමක් අදහස් නොකරන බවත්, පුද්ගල සාපරාධී වගකීම තීරණය කළ හැක්කේ අවශ්‍ය සියලු නිසි ක්‍රියාදාමයන් සහතික කර ඇති අධිකරණයක් මඟින් පමණක් බවත්” සිහිපත් කරන ලදී.

එක්සත් ජනපද රජයේ තීරණය සමාලෝචනය කරන ලෙස විදේශ සබඳතා අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රජය සැලකිලිමත් වන කරුණු පිළිබඳව වොෂිංටන් ඩීසී වෙත දැනුම් දෙන බව තානාපති ටෙප්ලිට්ස් මැතිනිය දැන්වූ අතර, ආරක්ෂක ක්‍ෂේත්‍රය ඇතුළුව ශ්‍රී ලංකාව සමඟ දැනට සිදුකෙරෙමින් පවතින සියලු සහයෝගිතා පැතිකඩ සහ ඒවායෙහි ව්‍යාප්තිය සහතික කිරීම සඳහා එක්සත් ජනපද රජයේ අඛණ්ඩ කැපවීම අවධාරණය කළාය.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අමාත්‍යවරයා සමඟ මෙම රැස්වීමට සහභාගී වූහ. නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මාටින් කෙලී මහතා ද එක්සත් ජනපද තානාපතිවරිය සමඟ මෙම රැස්වීමට එක්විය.

Make a Comment