RTI

ට්‍රම්ප් දෝෂාභිගයෝගය ජයගනී

11. 02. 2020 | 8.36pm
Change Language
ට්‍රම්ප් දෝෂාභිගයෝගය ජයගනී

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝග නඩු විභාගයෙන් නිර්දෝෂී වූ අතර දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව ද හිමිවිය.

ජනාධිපති බලය අවභාවිත කිරීම සහ ඇමෙරිකානු කොංග්‍රසයට බාධා කිරීම යන වගන්ති මත ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරිපත් කෙරිණි.

දෝෂාභියෝග ඡන්ද විමසීමේදී සෙනෙට් සභිකයන්ගෙන් වෙන වෙනම ඡන්දය විමසීම සිදු කෙරිණි.

දෝෂාභියෝග විභාගයේ සෙනෙට් මණ්ඩල ඡන්ද විමසීම ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේදී පෙරේදා (5) පස්වරුවේ පැවැත්විණි. 

පළමු චෝදනාවට විපක්ෂව ඡන්ද 52ක් ද පක්ෂව ඡන්ද 48ක් ද හිමි විය.

දෙවැනි චෝදනාවට විපක්ෂව ඡන්ද 53ක් ද පක්ෂව ඡන්ද 47ක් ලැබිණි.

සෙනෙට් සභාවේ සංයුතිය

සෙනෙට් සභාව ආසන 100කින් සමන්විත අතර ඉන් ආසන 53ක් රිපබ්ලිකන් පක්ෂයට හිමි අතර ඩිමොක්‍රටික් පක්ෂයට හිමි ආසන 45ක් පමණි. එමෙන්ම ස්වාධීන සෙනෙට් සභිකයන් දෙදෙනෙක් ද සිටිති.

දෝෂාභියෝග විභාගයකට මුහුණ දුන් තෙවැනි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඞ් ට්‍රම්ප් ය.

ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ සංයුතිය 

ඇමෙරිකානු පාර්ලිමේන්තුව සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් මණ්ඩල දෙකකින් සමන්විත අතර සෙනෙට් සභාවේ බලය ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂයටය.

ට්‍රම්ප්ට එරෙහි චෝදනා

මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම  සඳහා ඩොනල්ඞ් ට්‍රම්ප් යුක්රේනයෙන් සහාය ඉල්ලූ බවට වන චෝදනාව ඔහුට එරෙහිව ඇති පළමු චෝදනාවයි.

ඊට අමතරව යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර ඩොලර් මිලියන ගණනක් රඳවාගෙන සිටි බවටත් සාකච්ඡාවක් සඳහා ධවල මන්දිරයට පැමිණෙන්නැයි යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කළ බවටත් තවත් චෝදනාවක් එල්ල විය.

හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි  යුක්‍රේනියානු රජයට බලපෑම් කළ බවද තවත් චෝදනාවක් එල්ල විය.

ජෝ බයිඩන් මේ වන විට ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වී සිටී. 

දෝෂාභියෝග විභාගයේ කරුණු විමසීම්වලට සාක්ෂි ලබා නොදෙන ධවල මන්දිර කාර්යමණ්ඩලයෙන් ඉල්ලා සිටිම සහ ඒ සඳහා ඉඩ ලබා නොදීම යන කරුණු මත ට්‍රම්ප් කොංග්‍රසයට බාධා කළ බවට ඔහුට එල්ල වු දෙවැනි චෝදනාවයි.

දෝෂාභියෝගයේ ගමන් මග

පසුගිය වසරේ දෙසැම්බර් මස දෝෂාභියෝගයේ පළමු ඡන්ද විමසීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාව එහිදී වැඩි ඡන්දයෙන් සම්මත විය. 

නමුත් දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා ඉවත් කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එය සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත විය යුතුය.

ජනවාරි මස මුල දෝෂාභියෝග යෝජනාව සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර ඒ අනුව සෙනෙට් මණ්ඩලයේදී දෝෂාභියෝග විභාගය සහ ඡන්ද විමසීම පැවැත්විණි.

එම ඡන්ද විමසීමෙන් දෝෂාභිගයෝගය පරාද විය.

ඒඑෆ්පී ඇසුරෙනි

https://www.afp.com/en/news/15/political-trq5ke2

https://www.afp.com/en/news/15/trump-takdoc-1or3084

Cover Photo : AFP / Olivier DOULIERY

Make a Comment