RTI

සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති

24. 01. 2020 | 2.36pm
Change සිංහල | தமிழ் | English
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති

ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් වෛරී කතා පැතිරීම වැළැක්වීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන  සහ සයිබර් අපරාධ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජාතික සයිබර් ආරක්‍ෂණ උපායමාර්ගය යටතේ නව නීති ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බවත් ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය පවසයි.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් යෝජිත සයිබර් ආරක්ෂණ පනත කෙටුම්පත් සකස් කර අවසන් කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදයේ (SLCERT) නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එමගින් සයිබර් ආරක්ෂණ තර්ජන හා සිදුවීම් කාර්යක්ෂම ලෙස වැළැක්වීම සහ කළමනාකරණය කිරීම මෙන්ම  තීරණාත්මක තොරතුරු ආරක්ෂා කිරීම සඳහා පුළුල් රාමුවක් ස්ථාපිත කරනු ඇතැයි එහි සඳහන් වෙයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ ඉකුත් 22 වැනිදා පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදයේ (SLCERT) නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අවසාන නීතිමය පැහැදිලි කිරීම් සඳහා කෙටුම්පත නීති කෙටුම්පත්කරුට භාර දී ඇති බවයි.

ක්‍රෙඩිට් කාඩ් වංචාවන්, පළිගැනීම්, කාමුක දර්ශන, දේපළවලට එරෙහි අපරාධ, අනවසරයෙන් පරිගණක වලට ඇතුළුවීම සහ බුද්ධිමය දේපල සොරකම් කිරීම මෙන්ම සයිබර් ත්‍රස්තවාදය, වෙබ් අඩවි තුලට අනවසරයෙන් ඇතුළුවීම, අනවසර තොරතුරු සැකසීම සහ වෙනත් සංවිධානවලට එරෙහිව සයිබර් අපරාධ, සංවේදී මූල්‍ය දත්ත වලට අනවසරයෙන් ඇතුළු වීම වැනි රජයට සහ වෙනත් සංවිධානවලට එරෙහි සයිබර් අපරාධ මීට ඇතුළත් වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදය (SLCERT) සයිබර් ආරක්ෂාව සම්බන්ධ ගැටළු සඳහා ජාතික මට්ටමේ කේන්ද්‍ර ස්ථානයක් ලෙස ක්‍රියා කරන ආයතනයකි.

නව යාන්ත්‍රණය යටතේ ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂණ ඒජන්සිය (DIPA) රටේ සියලුම සයිබර් ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා ඉහළම ආයතනය ලෙස පිහිටුවනු ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි. මෙම ආයතනයට ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමට නියම කෙරෙනු  ඇතැයි ද සඳහන් වේ.

පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහි සයිබර් අපරාධ වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා නිසි නීතිමය හා ලුහුබැඳීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට නොමැති බැවින් එම අපරාධ සීග්‍රයෙන් ඉහළ යන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංසදයේ (SLCERT) නිලධාරීන් defence.lk වෙත ප්‍රකාශ කර ති⁣බේ.

Cover photo - www.defence.lk

Author - Staff writer
Staff writer
Make a Comment