පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 14. 01. 2020 | 11.20pm
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට

ලොව ප්‍රබලම රටවල් හතරක් වන ඇමෙරිකාව,ජපානය,රුසියාව සහ චීනය යන රටවල ඉහල පෙලේ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෝ පිරිසක් අද(14) ලංකාවට පැමිණියහ.

ඇමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය, චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා සහ ජපානයේ කලාපීය පුනරුදය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා මෙලෙස දිවයිනට පැමිණ සිටිති. 

රුසියා-ශ්‍රී ලංකා ද්විපාර්ශවීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 දක්වා ඉහළට

දෙදින නිල සංචාරයක් සඳහා රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.

සර්ගේ ලැව්රෝව් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවිය. 

එමෙන්ම ඒ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූවේය.පසුව එම අමාත්‍යවරු දෙදෙනාම එක්ව කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

එහිදි ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක් දක්වා වැඩි කිරීම සඳහා පුළුල් හා ශක්තිමත් පියවර ගන්නා බව⁣ට දෙරටේ විදේශ අමාත්‍යවරු ප්‍රකාශ කළහ.

පාස්කු ඉරිදා එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර ආකාරයේ ප්‍රහාර නැවත සිදුවීම වළක්වාගැනීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව ලැව්රෝව් මහතා පැවසීය.

ඒ මහාතා මෙසේද පැවසීය.

"ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවල හමුදා උපකරණ ඇතුළු අවශ්‍ය සහාය ලබාදෙනවා.එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී ගෝලීය සංවිධාන තුළදී රුසියාව ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පවත්වනවා. ‘නොබැඳි ජාතීන්ගේ සංවිධානය’ ඇතුළු ජාත්‍යන්තර සංවිධාන තුළ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි.රුසියානු ජාතිකයන් ශ්‍රී ලංකාවේ වැඩි වැඩි වශයෙන් සංචාරය කර තිබෙනවා.රුසියානු ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සතුටු වෙනවා."

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහ⁣තා මෙසේ ද කීය.

"ශ්‍රී ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක් දක්වා වැඩි කිරීමට ශක්තිමත් හා පුළුල් පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 වසරේදී රුසියාවේ කළ සංචාරයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක ඉලක්කයක් ලෙස ස්ථාපිත කළා.2018 වසරේදී දෙරටේ වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 388.98 ක් ලෙස සටහන් වුණා. රුසියාව ශ්‍රී ලංකාවේ 15 වැනි අපනයන වෙළෙඳපොළයි.එසේම එය 24 වැනි විශාලතම ආනයන වෙළෙඳපොළයි.ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තිබෙන සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගන්නවා."යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සුරක්ෂිතයි-ජපානය

ජපානයේ කලාපීය පුනරුදය පිළිබඳ රාජ්‍ය මාත්‍ය කොසෝ යමමොතෝ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී හමුවිය.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි යමමො⁣තෝ මහතා එහිදී පැවසීය

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ද ඒ මහතා කීය.

"වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී තිබෙනවා. එමෙන්ම ආර්ථිකය ද ගොඩනැගෙමින් පවතිනවා.මේ අනුව ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා සුබදායී පරිසරයක් ගොඩනැගී තිබෙනවා.ආරක්ෂාව, යටිතල පහසුකම්, කර්මාන්ත සහ වෙනත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ජපානයේ ඇති ප්‍රවීණත්වය සහ අත්දැකීම් සමඟ ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් සැපයීමට ජපානයට හැකියාවක් තිබෙනවා."යැයි ඒ මහතා කීය.

උසස් තාක්ෂණයෙන් හෙබි එකලස් කිරීමේ කර්මාන්ත ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි යමමො⁣තෝ මහතාගෙන් ඉල්ලීමක් කළ අතර එය පිලිගත් ජපාන රාජ්‍ය අමාත්‍යවරයා පැවසූවේ ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බවයි.


පසුගිය පැය 24 තුළ ලෝකයේ සුපිරි බලවතුන් 4 දෙනෙකු සමග පැවැත්වූ සාකච්ඡා සහ ඔවුන්  ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වීම මගින් තමන් දැඩි ලෙස ධෛර්යමත් වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබිණි

ඡායාරූප- ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ ට්විටර් ගිණුමෙනි


Share