RTI

ට්‍රම්ප්ගේ නියමයෙන් ඉරානයේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ඝාතනය කරයි

03. 01. 2020 | 11.30am
Change සිංහල | தமிழ் | English
ට්‍රම්ප්ගේ නියමයෙන් ඉරානයේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ඝාතනය කරයි

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ, කුඩ්ස් බලකායේ ප්‍රධානියා සහ එම කලාපයේ ඉරාන ආරක්ෂක උපකරණවල "නිර්මාණ ශිල්පියකු" ලෙස නම් දරා සිටි ජනරාල් කස්සෙම් සොලෙයිමානි බැග්ඩෑඩ් හි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් බැග්ඩෑඩ්හිදී ඉරාන කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරී කසෙම් සොලෙයිමානී මිය ගිය බව පෙන්ටගනය ද තහවුරු කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් විසින් අනුමත කරන ලද නියෝගයක් අනුව බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දි ඩ්‍රෝන් යානයක් (American MQ-9 Reaper drone) භාවිතා කරමින් කරන ලද ප්‍රහාරයකින් ඔහු මෙලෙස මිය ගොස් ඇතැයි ඇමරිකානු නිලධාරීන් පැවසු බව නිව්යෝක් ටයිම්ස් පවසයි.

ඇමරිකානු MQ-9 රීපර් ඩ්‍රෝන් යානයකින් ගුවන්තොටුපළෙන් පිටත්ව යන රථ පෙළකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් සුලෙයිමානි සහ ඔහු සමග සිටි ටෙහෙරානයේ සහයෝගය ලබන ඉරාක මිලීෂියා භටයන් කිහිප දෙනෙකු ද මිය ගොස් තිබේ.

ජෙනරාල් සුලෙයිමානි ඝාතනය ඉරානයේ මිලිටරි හා ජාතික අභිමානයට දැවැන්ත පහරක් වනු ඇති අතර, දෙසැම්බර් අග ඉරාකයේ දී ඇමරිකානු කොන්ත්‍රාත්කරුවකු මරණයට පත් වීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයේ බරපතල තීව්‍රතාවයක් ලෙසද හැඳින්විය හැකිය.

කලාපයේ සහ ඉන් ඔබ්බෙහි උණුසුම් තත්ත්වයක් ඇතිවිමට මෙම සිදුවිම තුඩු දිය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

ආරක්ෂක ලේකම් මාර්ක් ටී. එස්පර් කියා සිටියේ මැද පෙරදිග ඉරානයේ පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායම් ජාලයකට සමීප සම්බන්ධතා පැවැත්වූ ගෞරවනීය හමුදා චරිතයක් ලෙස ඉරානයේ නම් දරා සිටි සොලෙයිමානීට එරෙහිව පෙන්ටගනය “තීරණාත්මක ආරක්ෂක පියවරක්” ගෙන ඇති බවයි.(වොෂින්ටන් පෝස්ට්)

ජෙනරාල් සොලෙයිමානී ඇමරිකානු මරණ සිය ගණනක් සඳහා වගකිව යුතු බවත්  ඉරාකයේ සහ කලාපය පුරා සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහ සේවා සාමාජිකයින්ට පහර දීමේ සැලසුම් ක්‍රියාකාරීව සංවර්ධනය කරමින් සිටි බවත් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් වරයා කීවේය.

මෙම ගුවන් ප්‍රහාරය අරමුණු කර තිබුණේ අනාගත ඉරාන ප්‍රහාර සැලසුම් වලක්වා ගැනීමට බවද ඔහු පවසයි.

නිව්යෝක් ටයිම්ස් | වොෂින්ටන් පෝස්ට් ඇසුරෙන් 

Author - Staff writer
Staff writer
Make a Comment