සමාජ මාධ්‍ය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 14. 11. 2019 | 10.59pm
සමාජ මාධ්‍ය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්

සමාජ මාධ්‍ය ජාල තුළ පවතින තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමේ තත්ත්වයකට වුවද යාමට සිදුවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවෙ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනතුරු අගවයි.

“සමාජ මාධ්‍ය ජාල තුළ අසත්‍ය ප්‍රකාශ,වෛරී ප්‍රකාශ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන දැන්වීම් සහ නොයෙකුත් සටහන් ඡායාරූප පළවන බව දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතී.අද දින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කළැයි කියන අසත්‍ය ප්‍රකාශ මීට පෙර පළ වූවාක් මෙන් නැවත ප්‍රචාරය වීමට පටන් ගෙන තිබූ අතර එය ෆේස්බුක් ආයතනය වෙත පැමිණිලි කර ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමේ තත්ත්වයකට වුවද යාමට සිදුවිය හැකි බව සමාජ ජාල පරිහරණය කරන්නන්ට දන්වා සිටිනු ලැබේ.“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

මුහුණු ආවරණ ඉවත් කර ස්වකීය මුහුණ පෙන්විය යුතුයි

“ඡන්දය දැමීමට පැමිණෙණ අය විශාල අවු කණ්නාඩි හෝ මුහුණු ආවරණ පැළද සිටීනම් ඡන්ද පොළ තුළදී අනන්‍යතාව පරීක්ෂා කරන නිලධාරියාට එම මුහුණු ආවරණ,අවු කණ්නාඩි ඉවත් කර ස්වකීය මුහුණ පෙන්විය යුතුයි.එමෙන්ම එම ආවරණ නැවත පැලදිය හැක්කේ දෙවන නිලධාරියා විසින් නම හඩ නගා කීමෙන් ස්වල්ප මොහොතක් ගතවීමෙන් පසුවයි.ඒ මක්නිසාද යත් නියෝජිතයන්ටත් ඔවුන්ගේ අනන්‍යතාව දැනගැනීමට අවශ්‍ය බැවින්.“යැයි සභාපතිවරයා කීය.

ජංගම දුරකථන භාවිතය

තේරීම් බාර නිලධාරියාගේ හෝ මැතිවරණ කොමිෂන් සභාවේ ලිඛිත අවසරය නැති කිසිම අයෙකුට ඡන්ද මධ්‍යස්ථානය තුළ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පුර්ණයෙන් තහනම්.එමෙන්ම ඡන්ද පොළ තුළ ජංගම දුරකථන භාවිත කළ හැක්කේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිට හෝ ඔහුගේ අවසරය ඇති නිලධාරියකුට පමණයි.කිසිදු දේශපාලනඥයකුගේ හෝ ප්‍රභූවරයකුගේ හෝ කිසිදු ආරක්ෂකයකුට ඡන්ද මධ්‍යස්ථානය තුළට පැමිණීමට අයිතිවාසිකම් නැත.“යැයි ද ඒ මහතා පැවසීය.

Share