අධිකරණයටත් හොරෙන් HSG පරීක්ෂණ කරලා - කුරුණෑගල අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගැන පරීක්ෂණ

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 09. 08. 2019 | 3.16pm
අධිකරණයටත් හොරෙන් HSG පරීක්ෂණ කරලා - කුරුණෑගල අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගැන පරීක්ෂණ

වෛද්‍ය ෂාෆි ෂිහබ්දීන් මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ හෝ නීති විරෝධි වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමු නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා අද (09) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කඳන්ගමුව මහතා අධිකරණ නියෝගයක් නොමැතිව මව්වරුන් 14 දෙනකු HSG පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයිද, ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු එක් මවකට එම පරීක්ෂණය සිදු කර ඇතැයි ද රහස් පොලිසිය දැනුම් දුන්නේය.

එම මවගේ පැලෝපීය නාල අවහිරවීමක් සිදු වී නැති බව පරීක්ෂණයෙන් අනාවරණය වීයැයි විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බවත් රහස් පොලිසිය ප්‍රකාශ කළේය. 

නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කඳන්ගමුව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතාගේ පෞද්ගලික විස්තර සොයා ඇතැයි දැනුම් දුන් රහස් පොලිසිය එය ඔහුට තර්ජනයක් යැයි ද ප්‍රකාශ කළේය. 

සාෆි ත්‍රස්වාදියකු සමඟ සම්බන්ධ බවට නීතීඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශ කළත් එවැන්නක් අනාවරණය නොවුණ බව කී රහස් පොලිසිය ඒ ගැන විස්තර ලබා දීමට නීතිඥවරයාට හැකියාව ඇති බව ද ප්‍රකාශ කළේය.

සාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ  වසන්ත නවරත්න බන්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියේ සාක්ෂිකරුවෙකු වීම සහ වෛද්‍ය ෂාෆිට එරෙහිව කළ මාධ්‍ය ප්‍රකාශයන් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 12 යටතේ මෙම නඩුවේ නීතිඥයකු ලෙස ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා පෙනී සිටීම පිළිබඳව විරෝධය පළ කරන බවයි.

ඔහුට එරෙහිව පොලිස්පතිට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ නීතීඥ සංගමයට පැමිණිලි කර ඇති බව ද නවරත්න මහතා පෙන්වා දුන්නේය.

ඒ සඳහා නියෝගයක් ලබා දීමට පෙර නඩුවෙන් ඉවත් වන ලෙස අධිකරණය නීතීඥ  ඉන්ද්‍රසිරි සේනාරත්නට අධිකරණය දැනුම් දුන්නේය.

කිසිදු අධිකරණ නියෝගයකින් තොරව මව්වරුන් තිදෙනෙකු සඳහා HSG පරීක්ෂණය පැවැත්වීම සහ එහි වාර්තාව වෛද්‍ය ෂාෆීට පක්ෂව ලැබීම නිසා එම වාර්තාව යටපත් කිරිමට එරෙහිව සහ විමර්ශකයන්ට බාධා කිරීමට එරෙහිව රෝහල් අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය වීරබණ්ඩාර මහතාට සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන මහතාට එරෙහිව විමර්ශනය කර නඩු පැවරන ලෙස ද නීතීඳවරු ඉල්ලා සිටියහ.

මහේස්ත්‍රාත්වරයා මේ  පිළිබඳව රහස් පොලිසියෙන් විමසා සිටි අතර රහස් පොලිසිය දැනුම් දුන්නේ ඒ ගැන සලකාබලමින් සිටින බවයි.

නීතීඥ නවරත්න බන්ඩාර මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සාක්ෂි නොමැති වීම නිසා අපරාධ නඩුවිධාන  සංග්‍රහයේ 153 වන වගන්තිය යටතේ වෛද්‍ය ෂාෆි නිදහස් කරන ලෙසයි.

වෛද්‍ය ෂාෆී අත්අඩංගුවට ගැනීම සහ අත්අඩංගුවට ගැනීමෙන් පසු  සාක්ෂි සෙවීමේ වැරදි ක්‍රියා පටිපාටියක් බව ද නීතීඥවරයා කීවේය.

ඊළඟ දිනය වන මේ ගැන  වාර්තාවක් ඉදිරිපත් කරන බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. පැමිණිල්ල 2019 දෙසැම්බර් 12 තෙක් කල් තැබිණි.

Share