ජාතික සමගියට මඟ කියන සහරාන්ගේ ගමේ රෝහල

නිලුක සදුන් | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 06. 08. 2019 | 12.24pm
ජාතික සමගියට මඟ කියන සහරාන්ගේ ගමේ රෝහල

කාත්තන්කුඩිය අරාබි කොලනියක් ද? (01 ලිපිය) 

රට ඉඳි ගස් සහ අරාබි අකුරු සහිත පුවරු ඇති අරාබියේ කොලනියක් ලංකාවේ තිබෙන බවට පසුගිය කාලය පුරාවට විවිධ කතා පැතිරී ගියේය. ඒ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කාත්තන්කුඩි ප්‍රදේශයයි.  ඇත්තටම කාත්තන්කුඩිය අරාබියේ කොලනියක්ද? ඒ ගැන සොයන ලිපි පෙළේ මේ පළමු ලිපියයි.

කාත්තන්කුඩිය යනු පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් හෂීම්ගේ ගම්මානයයි. ඔහු ඉපදුනේද, හැදී වැඩුනේ ද කාත්තන්කුඩියේය.

පාර හරහා ගැසූ විශාල තොරණ මැද්දෙන් කාත්තන්කුඩියට ඇතුළු වී ටික දුරක් ගමන් කරද්දී හැමෝම කතා බහ කරන රටඉඳි ගස් පේලිය හමුවෙයි. කාත්තන්කුඩියේ පාර මැද තීරුවක හිටවා තිබුණේ රට ඉඳි ගස් පමණක්ම නොවේ. බෝගන්විලා ගස් ද සිටවා තිබිණි. ඒ ගැන දකුණේ මාධ්‍ය කතා කරනු දැක නැත. 


කාත්තන්කුඩිය යනු ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටරයක වැඩිම පිරිසක් ජීවත් වන ප්‍රදේශයයි.  ප්‍රදේශයේ ජනතාවට ඇති ළඟම රෝහල කාත්තන්කුඩි මූලික රෝහලයි.  මාධ්‍ය මගින් මැවූ චිත්‍රය නිවැරදි නම් කාත්තන්කුඩිය අරාබියේ කොලනියක් නම් කාත්තන්කුඩි මූලික රෝහල පුරාවට තොප්පි දාගත් , බුර්කා සහ මූණ වැසෙන ඇඳුම් ඇඳගත් මුසල්මානුවන්ගෙන් පිරුණු රෝහලක් තිබිය යුතුය. සත්‍ය තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. 

කාත්තන්කුඩි අරාබි කොලනිය ගැන සොයා බලන්නට ගිය ගමනේදී කාත්තන්කුඩි රෝහලට ඇතුළු වෙද්දීම එහි සිටින ආරක්ෂකයෝ එසේත් නැතිනම් මුරකරුවෝ සිනාමුසු මුහුණින් අප පිළිගත්හ. රෝහල් සේවකයෝ ද කඩි මුඩියේ වැඩ කරති.  කාත්තන්කුඩි මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් පසුගිය වසරේ ප්‍රතිකාර ලැබූ රෝගීන් ගණන 168000කි. රෝගීහු 20,000කට ආසන්න පිරිසක් වසරකට නේවාසිකව ප්‍රතිකාර ලබති. අරාබි කොලනියක් යැයි පැවසූ කාත්තන්කුඩියේ පිහිටි රෝහලේ වැඩිහරියක් සේවය කරන්නේ දෙමළ කාර්යමණ්ඩලයකි.


එම රෝහලේ වෛද්‍යවරු 27ක් සේවය කරති. ඒ අතුරින් 14 දෙනෙක් දෙමළ වෛද්‍යවරුය. එක් වෛද්‍යවරයෙක් සිංහල ජාතිකයෙකි. ඉතිරි වෛද්‍යවරු 11 දෙනා මුස්ලිම් ජාතිකයෝය.  හෙද නිලධාරීහු 43 දෙනෙක් රෝහලේ සේවය කරති.  මුස්ලිම් හෙද නිලධාරීන් සිටින්නේ 07 දෙනකු පමණි.   සිංහල හෙද නිලධාරීහූ 06 දෙනෙක් ද මෙම රෝහලේ සේවය කරති. ඉතිරි 30 දෙනා දෙමළ ජාතික හෙද නිලධාරීහුය.

කොළඹ සිට ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ කාත්තන්කුඩියට මුස්ලිම් හැර වෙනකකුට පැමිණි සේවය කළ නොහැකි වෙනම රාජ්‍යයක් ලෙසයි. නමුත් එහි ගොස් කරුණු සොයා බැලීමේදී පෙනී ගියේ එය එසේ නොවන බවත් කාත්තන්කුඩිය යනු කොළඹ-ගම්පහ මෙන් සාමාන්‍ය නගරයක් බවත් ය.

‘මගේ ගෙවල් කළුතර. මම කලින් වැඩ කළේ කාසල් රෝහලේ. කාත්තන්කුඩියට ස්ථාන මාරු වෙලා ඇවිත් දැන් අවුරුදු පහක් වෙනවා. ආපු දා ඉඳන් අද වෙනකම් මට කිසිම ගැටලුවක් වෙලා නෑ. මට කිසිම වෙනසක් දැනිලත් නෑ. හරිම සහයෝගයෙන් වැඩ කරනවා. ‘ යැයි සිංහල හෙද නිලධාරිනියක් වන සඳමාලි මහත්මිය පැවසුවාය.  


'මේකේ සිංහල වෛද්‍යවරු ගොඩක් සේවය කළා.  සිංහල හෙද නිලධාරීනුත් රැසක් වරින් වර සේවය කරලා තියෙනවා.' යැයි රෝහල් අධිකාරී මොහොමඩ් ජාබීර් මහතා ප්‍රකාශ කළේය.


මෙම රෝහලේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය රාජකාරිවලට එහා ගිය තවත් දෑ සිදු කරති.  මහ මග අතහැර දමා ගොස් සිටින මව්වරුන් පියවරුන් ගෙනැවිත් ඔවුන්ට නේවාසික පහසුකම්,ආහාර පාන මෙන්ම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දෙති.මේ සදහා ඔවුන් වෙනම ගොඩනැගිල්ලක්ද වෙන් කර තිබේ.   


හිසට සෙවණක් මෙන්ම හිතට සුවයක් නොමැතිව මහ මග අතරමංව සිටි මව්වරුන් පියවරුන් කිහිප දෙනකුම මුණ එහි ගිය අපට මුණගැසිනි. ඉන් කිහිප දෙනකුම මානසික රෝගවලින් පෙලෙන අය බවට රෝහල් සේවකයෝ පැවසූහ. ඔවුන්ගේ සියලුම අවශ්‍යතා ඉටු කිරීමට රෝහල් සේවකයෝ ඉතාමත් කරුණාවෙන් කටුයුතු කරති.  දෙමළ මුස්ලිම් සිංහල බේදයකින් තොරව මෙම උපස්ථාන කටයුත්ත සිදු කරති.

“මෙයා තමයි අපේ අලුත් යාළුවා“ පාරේ අතහැර දමා ගොස් සිටියදී හමුවී මෑතකදී එම ස්ථානයට රැගෙන විත් තිබූ තවත් පියෙකු පෙන්වමින් එම රෝහලේ සේවකයෙක් පැවසීය.  එහි සිටි එක් රෝගී මවකගේ දරුවන් ඇය වයස්ගතව රෝගී වූ පසු ඇයව අතහැර දමා ගොස් තිබිණි. ඈ සතුව තිබූ සියලු භාණ්ඩ ද රෝහල් සේවකයින් ආරක්ෂා සහිතව ඇය දැන් ඉන්නා කාමරයේ තබා ඇති ආකාරය දැකගත හැකිය. ඇය වසර දෙකක පමණ සිට මෙම රෝහලේ රැකවරණය යටතේ ජීවත් වන්නීය.

“මෙයාට බලන්න කවුරුත් නෑ. අපි තමයි කවන පොවන එකේ ඉඳන් පැම්පස් එක මාරු කරන එක දක්වාම කරන්නේ. අපි ආසාවෙන් තමයි මේ අයට උදව් කරන්නේ. දැන් අවුරුදු දෙකක විතර ඉදන් මෙයා අපිත් එක්ක ඉන්නවා.රෙදි හෝදන්නෙත් අපිමයි. කළින් වාට්ටුවේ හිටියා. පස්සේ මේ තැන හදලා මෙතනට එක්කගෙන ආවා. බලන්න එන සමහර අය මෙයාට අවශ්‍ය පැම්පස් වර්ග ගෙනත් දෙනවා. කන්න බොන්න දෙන එක රෝහලෙන් දෙනවා. අපිට ලොකුවට වියදම් යන්නේ පැම්පස් වගේ දේවල් ගන්න තමයි.“ එම රෝහලේ සේවකයෙක් පැවසීය.

මෙම කටයුතු සිදුවන්නේ මෙම රෝහලේ වෛද්‍ය අධිකාරී මොහොමඩ් ජාබීර් මහතාගේ ප්‍රධානත්වයෙනි.

“කවුරු පෙත්සම් ගැහුවත් අපි පාරේ ඉන්න අසරණ හිගන අය ගෙන්නලා කන්න දෙනවා.මේක අපේ රෝහලේ කාර්ය මණ්ඩලය එකතුවෙලා කරන වැඩක්.“ කාත්තන්කුඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී මොහොමඩ් ජාබීර් මහතා පැවසීය.

ජාබීර් මහතා සම්ප්‍රදායික ආගමික අදහස්වලින් තොර වෙනස් අදහස් ඇති පුද්ගලයෙකි. ඔහු ගැන වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක සිට කාත්තන්කුඩියට ඇඟිල්ල දිගු කරන පිරිසට කාත්තන්කුඩියට ඇවිත් දවසක් දෙකක් නැවතී සිටියහොත් වැඩි යමක් තේරුම් ගත හැකි වනු ඇත. කාත්තන්කුඩිය අරාබි කොළනියන් නොවේ කියන්නට කාත්තන්කුඩි මූලික රෝහලම හොඳ උදාහරණයකි.


(නිලූක සඳුන්)

Share