කුණු කන්ටේනර් තුළ මිනිස් ශරීර කොටස් ඇතැයි වාර්තා

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 26. 07. 2019 | 11.59pm
කුණු කන්ටේනර් තුළ මිනිස් ශරීර කොටස් ඇතැයි වාර්තා

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෝහ ලෙසට හුවා දක්වමින් ශ්‍රී ලංකාවට එවා ඇති කන්ටේනර් තුළ මිනිස් කොටස් අඩංගු බව පෙනෙන නිසා කන්ටේනර් සියයකට වැඩි ප්‍රමාණයක් ආපසු එවන බව ශ්‍රී ලංකා බලධාරීන් පැවසීමෙන් පසු බ්‍රිතාන්‍ය රජය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි The Telegraph වාර්තා කරයි.

පසුගිය දෙවසර පුරා වරායට පැමිණ ඇති බහාලුම් 111 කින් නිකුත් වන දැඩි දුර්ගන්ධයක් පිළිබඳව විමර්ශනය කරන අතරතුර කොළඹ වරායේ නිලධාරීන් මෙලෙස සොයා ගෙන තිබේ .

එම කන්ටේනර් තුළ මෙට්ට, ප්ලාස්ටික් හා සායනික අපද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර ඇති “අතිශයින්ම අනතුරුදායක” ද්‍රව්‍ය සොයා ගෙන තිබේ. 

එම කන්ටේනර් තුළ මිනිස් අවයව හා ශරීර කොටස් ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් ශ්‍රී ලංකාවේ රේගු බලධාරීන් ඒවා වෙත මෙතෙක් ළඟා වී නොමැති බවත් Defra බලධාරීහූ පවසති.

 "නීති විරෝධී අපද්‍රව්‍ය අපනයනය මැඩපැවැත්වීමට අපි කැපවී සිටිනවා. එබැවින් වැරදි ලෙස විස්තර කර අපද්‍රව්‍ය අපනයනය කරන පුද්ගලයින්ට වසර දෙකක සිර ද දඩුවමක් හෝ අසීමිත දඩයකට යටත් විය හැකියි" යනුවෙන් බ්‍රිතාන්‍ය ප්‍රකාශකයෙක් පැවසීය. 

“අපට තවමත් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් විධිමත් ඉල්ලීමක් ලැබී නෑ. නමුත් වැඩි විස්තර දැනගැනීම සඳහා අපි ඔවුන් සමඟ  සම්බන්ධ වෙනවා.”

 “මෙය 2017 සිට සිදුවෙමින් පවතින හොඳින් සංවිධානය වූ ජාවාරමක්” යැයි ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය. ඔවුන් බ්‍රිතාන්‍ය බලධාරීන් සමඟ මෙම ප්‍රශ්නය සාකච්ඡා කරන බව කීය.

ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ දහනය කිරීම වෙනුවට වැරදි ලෙස අපද්‍රව්‍ය අපනයනය කරන අපරාධ කණ්ඩායම් හසුවූ නවතම රට ශ්‍රී ලංකාවයි.

චීනය, වියට්නාමය, මැලේසියාව සහ තායිලන්තය ද යුරෝපීය රටවලින් අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීමට උත්සාහ කරන අතර ප්ලාස්ටික් ආනයනය මැඩපැවැත්වීමට කටයුතු කරන බව නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රකාශකයෙකු පැවසුවේ “එක්සත් රාජධානියේ මෙට්ට මුවාවෙන් රටට ගෙන එන අපද්‍රව්‍ය අතිශයින්ම අනතුරුදායක .”බවයි.

බ්‍රිතාන්‍යයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ විශේෂඥයන් පවසන්නේ මිනිස් අවයව හෝ ශරීර කොටස් වැනි ව්‍යුහ විද්‍යාත්මක අපද්‍රව්‍ය අපනයනය කිරීම නීති විරෝධී බවයි.

“කවුරුහරි මෙමගින් මිනිස්සු මරන්න පුළුවන්” යූනොමියා හි අපද්‍රව්‍ය හා ප්‍රතිචක්‍රීකරණ උපදේශක සභාපති ඩොමිනික් හොග් අනතුරු ඇඟවීය.

බ්‍රිතාන්‍ය ලෝහ ප්‍රතිචක්‍රීකරණ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ නීතිවිරෝධී ලෙස අපද්‍රව්‍ය අපනයනය කිරීම “සම්පූර්ණයෙන්ම හෙළා දකින” බවයි. 

ඔහු සුළුතරයක් වන වංචනික වෙළෙඳුන්ට සහ අපරාධකරුවන්ට දොස් පැවරීය.

 "අවාසනාවකට මෙන්, අරමුදල් හිඟකම හේතුවෙන්, සාමාන්‍යයෙන් බහාලුම් විවෘත කරනු ලබන්නේ නීතිවිරෝධී නැව්ගත කිරීමකට උත්සාහයක් ඇති බවට බුද්ධි තොරතුරු දැනුම් ලැබී ඇත්නම් පමණයි.මෙහි ප්‍රතිඵලය වනුයේ බහාලුම් 1,000කින් එකක් පමණක් පරීක්ෂා කිරීමයි" යනුවෙන් එම සංගමයේ තාක්ෂණික අධ්‍යක්ෂ හොවාර්ඩ් බ්ලක් පැවසීය.

එම බහාලුම්වල බ්‍රිතාන්‍ය මිනිස් කොටස් පවතින බව සනාථ වුවහොත්,ඒවා ශරීර කොටස් හා අපද්‍රව්‍ය බැහැර කිරීමට නොහැකිව අර්බුදයක සිටින එංගලන්ත NHS රෝහල් වල අපද්‍රව්‍ය යැයි සැකයක් ඇති වන බව වාර්තා වේ.

- The Telegraph ඇසුරෙනි

Share