RTI

කුරිරු ඉතිහාසයක නූතන පිළිඹිබුව-මූසිලය

20. 07. 2019 | 8.32pm
Change සිංහල | தமிழ் | English
කුරිරු ඉතිහාසයක නූතන පිළිඹිබුව-මූසිලය

අයෝධ්‍යා මැණික්හින්න

ජාතක කතා පොත ඇසුරින් ලාංකේය සාහිත්‍යය යුග වර්ගීකරණය තුළ පද්‍ය නිර්මාණ බහුලව පළවී තිබුණ ද කොළඹ යුගයෙන් පසු ඒ සම්බන්ධයෙන් රචනා වී ඇති ආඛ්‍යාන කාව්‍ය අතලොස්සකි. කණවේර ජාතකය ඇසුරින් සිරිලාල් කොඩිකාර ලියූ මානස විල සහ කනෙරු මල්, ආසංඛවතී ජාතකය ඇසුරින් ගුණදාස අමරසේකර ලියූ අසක් දා කව, උම්මග්ග ජාතකය ඇසුරින් දර්ශන රත්නායක ලියූ නැණසිළුමිණ හෙවත් උමන්දානන්දය, ඡද්දන්ත ජාතකය ඇසුරින් චින්තා පවිත්‍රානි ලියූ සදත් හදවත් ආදිය ඊට නිදසුන් සපයයි.

යම් කතාවක් තේමා කරගනිමින් එයින් ආඛ්‍යාන කාව්‍ය ලිවීමේ ක්‍රම කිහිපයක් ඇත. එක්කෝ සමස්ත කතන්දරයම කවි බණකදී මෙන් කවියට නැගිය හැක. නැතිනම් නව අරුත් වඩවමින් කතන්දරය ප්‍රතිනිර්මාණය කළ හැක. මෙයින් වඩා සාධනීය වන්නේ එම දෙවන ක්‍රමයයි. ආඛ්‍යාන කාව්‍ය අතර සාධනීය ලකුණු පෙන්වූ සිරිලාල් කොඩිකාරගේ කනෙරු මල් කාව්‍ය සංග්‍රහය පෙර කී සෙසු කාව්‍ය ග්‍රන්ථ අතරින් වෙනස්වන්නේ එහිදීය. කතන්දරයේ ඇතැම් සිදුවීම් දීර්ඝ කරමින් එයම කීම හා එය සහෘදයාට විෂය වූ සමාජ සංස්ථා හා බද්ධ කරලීම යනු දෙකකි. ජාතක කතා පොත හුදු ආගමික පාඩම් උගැන්වීමේ මාධ්‍ය කරගැනීමෙන් ඔබ්බට සමාජ, සාහිත්‍යයික විෂයානුබද්ධ කතිකාවක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව පවතින මොහොතක කළණගේ මූසිලය එළි දැක්වෙයි. අප මෙහිදී කනෙරු මල් විශේෂ කොට දැක්වූයේ සමාජ දේශපාලන සංස්ථා අනුදත් විෂමතා සදය උපහාසයෙන් මතුකරවන කොඩිකාර මෙන් කළණ ගුණසේකර ද එම මාර්ගයට පිවිස තිබීම නිසාය.

පන්සිය පනස් ජාතක පොතේ එන ඇතැම් කතා ප්‍රබලය. කලාත්මකය. මනෝවිද්‍යාත්මකය. දේශපාලනිකය. එනිසා ඒවා නැවත නැවත කලාකරුවන් අතින් ප්‍රතිනිර්මාණය වේ. ගුත්තිල ජාතකය ද එවැන්නකි. ඩබ්ලිව් ඇෆ්. ගුණවර්ධන, සුචරිත ගම්ලත් සහ තවත් බොහෝ පුවන්ගේ සංස්කරණයට කිහිපවරක් ලක්ව ඉනුදු නොනැවතී වේදිකාවට ද නැගිණි. ඒ අකිල සපුමල්ගේ නිෂ්පදනයක් ලෙසිනි. එහි නළගණ වැනුම සුසිල් ප්‍රේමරත්න විසින් පින්තාරුගත කරමින් කළ ගායනයක් අපට මතකය. මෙලෙසින් වන ගුත්තිල ජාතකයේ විහිදුමට පිළිතුරක් ලෙස මූසිලය එක්වේ.

ගුත්තිල ජාතකයේ වීරයා ලෙසින් පෙනී සිටින ගුත්තිල ඇදුරුව වර්ණනා කිරීමත් මූසිල දුගුණ පුද්ගලයකු ලෙසින් හංවඩු ගැසීමත් හමුවේ ගුත්තිලයෙහි මූසිලගේ පාර්ශ්වයට ගල් ගැසීමට නොයන අප කවියා සක්‍රයා දුන් ගුලි උඩ දැමීමෙන් විනා කේවලව තම කුසලතාවෙන් තරග කිරීමට හැකි නොවූ ඇදුරු හා ඊට රාජයනුග්‍රහය සැපයූ බඹදත් ඇසුරින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරයි. මූසිලයට විෂයවන්නේ නූතන සමාජයයි.

මූසිලට ගල් ගසා මරා තබා තිබියදී කලකට පසු ඔහු වනයෙන් යළි මතුවේ. සින්තටික් සිහිනයෙහි ගුරුවරයා ඉතිහාසයම නැවත කැරකෙන බව කියන්නාක් මෙන් මූසිල නැවත පැමිණේ. ගුත්තිලයෙහි වීරයා ගුත්තිලය. මූසිලයෙහි වීරයා මූසිලය. එබැවින් මෙම කාව්‍ය නිර්මාණයෙහි ජාතකයේ සැක මුසු තැන් ප්‍රශ්න කිරීමට කළණට හැකිවේ.  අතීත කතා, බුද්ධ වන්දනා ආදියට නොයා අනවශ්‍ය ලෙස කෘතිය දීර්ඝ කිරීමට කවි නොයොදා සෘජුව කතා විෂයට බසින කවියා බඹදත් රජු ඇසුරෙන් නූතන නිරින්දෑවරුගේ අගතිතා විවරණය කරයි. කනෙරු මල් කෘතියේදීත් කොඩිකාර රජුගේ දුගතිගාමී පුර පාලනය වෙනුවෙන්  මුල් කවි කිහිපය වෙන්කරයි(බඹදත් වුවද නම- වෙසවුණු දත්තයකු සම).  නිරින්දෑවරුන් හා මහජනයා බද්ධ වී සිටින ආකාරය ගැන මර්ලින් පීරිස් වරක් මෙසේ කීය.

රජකුට වහලුන් වෙමින් අපි මුල ඉඳලා හිටියෙ. ශ්‍රී වික්‍රම රාජසිංහ නෙමෙයි දෙවන එලිසබත් දක්වාම අපි ඉන්නෙ රජවරු යටතෙනෙ. එක්තරා අතකට, ලොව කිසිම ජාතියක් ඉඳලා නැති තරමට අපි රජවරුන් යටතේ ඉඳලා තියෙනවා. ඉතිං අපි ළඟ ඒ නින්දා සහගත වහල්භාවය තාමත් තියෙනවා. ඒ නිසා අපි තවමත් හොයන්නෙ රජවරු

වත්මන් ජනපතිගේ එක් හොක් නම් තමන්ට විවේචන එල්ලකිරීමට ඉඩ දී සිටීම යැයි ජයදේව උයන්ගොඩ වරක් සිය ලිපියක ලියා තිබිණ. වත්මනෙහි ඒ සම්බන්ධ දේශපාලන ගැටලු තවදුරටත් ඇතත් රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ රහස් එළියට පැමිණෙමින් තිබේ. නඩු වාර්තා නැවත පෙරළෙයි. අයුක්ති සහගත අතීත සිදුවීම් ප්‍රශ්න කෙරෙයි.  අප කවියා ද ඉන් ප්‍රයෝජන ලබයි.  කවිවල යොදන ඇතැම් නායක නාම නාම අපට ක්ෂණිව අදාළ පුද්ගලයන් හා සිදුවීම් සිහි කරවයි.

බරණැස රජු බඹදත් ද

නිම කරමින් යුද සද්ද

වරලබමින් ජන සිත්ද

ගසමින් නව ජන බද්ද

නාමල් පිපි විල් තෙර දැන් බබළනවා

පස්මහ බැලුම් බලලා උණ් ඉපදෙනවා

කළණගේ කෘතියේ බඹදත් රජු හා ගුත්තිලට ගැතිකම් කරනා රාජ සභාව රජු ඉදිරියේ කරන සියලු දුරාචාර මේ සබැදියාව තහවුරු කරයි. රජු පමණක් නොව රජු වටා සිටින ඇමතීන්, පන්දම් අල්වන්නෝ, වාම දේශපාලන පක්ෂ සියල්ල ම කළණගේ කවි පහරින් උපහාසයේ ගිලේ.

වමෙහි පුර                   ඇත්තෝ

උදලු දෑකැති                  ගත්තෝ

නුඹේ ළග සිටි                වැද්දෝ

ඔටුනු දාගෙන කඩුව        ඇද්දෝ

ඇතැම් අවස්ථාවලදී කළණ කිසි චකිතයකින් තොරව නූතන වහර එලෙසින් ම යොදාගනී. එහෙත් එළිසැමය රැකීමට ගොස් අර්ථ ව්‍යාකූල වන අවස්ථාද  බහුලය. නමුත් වදන යුතු තැන තැබීමට  ද  ඔහු ලොබ නොවෙයි. පදිරි වුණා බුදුවන්නට යන වාරේ, බිජ්ජ  නැමේ-හුජ්ජ වමේ, ඩබල් කරා බදු බර බැදී, රෝස් වෙනවා සෝස් දමමින්, සිටියි චොර වී, යළිත් දිනවමු රජ බොසා, ෆක් කරනවාද මෙලෙසින් ඊට නිදසුන්ය. මූසිලය බිහිවෙන 2018 හා කනෙරු මල් බිහිවන 1981 කාලවලදී සමාජයේ භාවිත පොදු වහර කනෙරු මල්හි යෙදෙන මෙවන් කවි දෙපදයක් ඇසුරින් නිදසුන් ලෙස දක්වමු.

‘හොඳටම වැඩිය පුරපතියාටත් වෙරිය

නෑ ඌ ටිකයි බිව්වේ අපි වැඩි හරිය’ (කනෙරු මල්)

මූසිල අවුරුදු ගණනක් බරණැසින් එපිට සිටිමින් සංගීතය පුහුණු කරයි. මෙය සංකේතවත් කරන්නේ බොහෝ කවියන්ට උරුම වූ පිටුවහල් සාහිත ලකුණු විය හැකිය. මූසිලයෙහි අර්ථ අනුව  ගුත්තිලයෙහි සක් දෙව් ගුලි තුනක් දී ගුත්තිලව දිනවූයේ ඔහුව ඇදුරු මුදලට ගැනීම නිසාය. ඔහු වෙසෙන තුසිත දෙව්ලොව දැන් නියංගයට කරකුට්ටංව ගොසිනි. එබැවින් මෙවර වීණා තරගයට දීමට ගුලි තුනක් නැතිය. ඔවුහු මූසිලව මරා දැමීමට කුමන්ත්‍රණ කරති. ඒ අපට අසා පුරුදු සුදු වෑන් රියකින් ගොස් නොව අතීතයට ඔබින පරිද්දෙන් සුදු අස් රියක ගොසිනි. මුහුණ වැසෙන සේ වැසුමක් යොදා ඔහුව බලෙන් අල්ලා අස්රියට පැටවීමෙනි. එබැවින් සුදු යන්න වත්මනෙහි භාවිත වන්නේ සුභාකල්ප මවන ඒවාට ම නොව ඇතැම්විට ඒවායෙහි ප්‍රතිවිරුද්ධ ව්‍යංගාර්ථ සහායි. මේ එබැව් කියන්නකි.

‘සුදු හුණු තබා සුදු කොඩි අත      වනාගෙන

සුදු වැලි යටින් හංගා වර             මරාගෙන’

මූසිලගේ වීණා නාදය ඇසෙන විල් තීරය සොයා යාමට ගුත්තිල ඇමති කෙනෙක් යොදවයි. මහනුවර දොගල්දොරුව විහාරයේ බිතු සිතුවම්වල මාරයුද්දයේදී එහි සිටින මාර පිරිසෙන් අයෙක් අත තුවක්කුවක් ඇද ඇත්තා සේ අලියා පිට නැගී එන ඇමති අත ද තුවක්කුවක් වෙයි. ඇතු පිටින් බිමට වැටෙන ඇමති තුවක්කුවේ එල්ලය වැරදී ඇතුට ම වෙඩි තබා ගුත්තිල වෙත ගොස් මූසිලව මැරූ බවට මුසා කියයි.

ගල් ගස්සවා ඇට කටු කලලයි මැරුවේ

වීණා කම්බි ඔතලයි ගෙල සිර කෙරුවේ

උපමා යෙදීමේදී ද කළණ උචිත වෙයි.(බරණැස් පුරය පරවී ගිය මලක් සේ)

ගුත්තිල කාව්‍යය රචනා කළ රචකයා පිළිබව කළණ මූසිලගේ වදන් මාර්ගයෙන් මෙවැන්නක් පවසයි. මෙය ඒ ගුත්තිල මූසිල සංවාදයේදී සිය ඇදුරු අමතමිනි. අසා ගුත්තිල-මූසිල මෙන් තවත් වාදයක් ද ඇති වුවොත් එය ද අරුමයක් නොවේ.

නුඹ ලියූ                       ඇත්තා

මුනිදු දැක                     නැත්තා

බුදුන් දුටු                       ඇත්තා

නොවෙයි කිසිදා රාජ     ගැත්තා

කළණ ගුණසේකර ගුත්තිල කවෙහි මෙන් ම සිංහල චූළ සාහිත්‍යයේ හමුවන රිද්ම හා වදන් ද කාව්‍යය සංග්‍රහයට යොදවයි. රැඩිකල්මය කවි ලෙසින් පෙනෙන කවි අතර නිරුත්සාහකව ගලා යන කවි පද බවට ඒවා අප හද මනස සසලවයි. පහත දැක්වෙන කවිය යසෝදරාවතෙහි එන පද්‍යයක් සිහිකරවන්නකි.

දහස් ගණන් බරණැස් පුර වෙසෙනවද

පහස් රාජ මැදුරෙන් වර ලැබෙනවද

අහස් උසින් කුසගිනි රස දැනෙනවද

රහස් නුඹේ වීණාවෙන් නැගෙනවද

‘පෙගුමෙන් බලය විසිරුණු බව මවන පැලේ

පෙරසේ යළිත් වෙණ නද දිය යුතුද මලේ’

මූසිලට අසාධාරණ වූ සියලු ආගමික හා රාජ්‍ය තාන්ත්‍රික බල හමුවේ ගුත්තිල දිනූ වෙණ තරගයේ යටගියාව ඉතිහසායෙන් ආ  මූසිල  ඇදුරු හමුවේ කම්පිතව වමාරයි. මේ කළණගේ පරිකල්පනයයි. මේ කව පැරකුම්බා සිරිතේ එන ‘වන් මෙදෙන් යුද අන් රදුන් රඹ රන් තැලුම් මද මත් ගජානෙනි’ එන කවෙහි රිද්මය සිහිකරවයි.

‘වෙණ විපත දැක පස් මතින් හිඳ පොළෝ මව සිය කඳුළු සැලුවා

පුරයෙ දොස දැක නිල් අහස් ගැබ සක් දෙවිඳු දුන් ඉඩට හැඬුවා

වෙණ රටා දැක තුරු ලතා කැල මහීකත වෙත දෑස් නැමුවා

මතක් කරමින් සදා වුණු දොස එදා දෙව්දත් පවා හැඬුවා’

නූතන කවි කිවිදියන්ගේ කාව්‍ය අරඹයා මතුවන ගැටළු ලෙසින් ප්‍රවීණ කවියන් දක්වන බොළ භාෂාව හෝ ආදරමය වස්තුවිෂයෙන් මිදෙන උත්සාහයක් වශයෙන් ද කළණගේ කෘතිය විශේෂ වෙයි. ඔහු අප දන්නා සාහිත්‍ය කෘතියකට පිළිතුරු කවි පොතක් ලිවීමට තරම් එඩිතර වෙයි. ගුත්තිලය ලියැවුණු කෝට්ටේ යුගයත් මූසිලය ලියැවෙන 21වන සියවසත් අතර සිදු වූ දෑ අතර සිදු වූ සමාජ දේශපාලනික කරුණු සියල්ලෙන් මිදී යාමට ඔහුට සිත් නොදෙයි. එබැවින් කවියා මූසිලට පරාජය වීමට ඉඩ නොදෙයි.

කාන්තාවන් ඇසුරෙහි බඹදත් රජු හා ගුත්තිල ඇදුරු වෙසීමත්, බදු බර පැටවීමත් වැනි කරුණු කෘතිය පුරා නැවත නැවත යෙදීම නිසා රස හීනවන ඒකාකාරී ස්වභාවයක් ද මතු වේ. එසේ වුවත් මැනවින් පිරිපහදු කර වඩවා ගත හැකි කවි ලකුණු මෙහි වෙයි. කළණ එමින් පවතින කලා දිශානතිය අප තවදුරටත් අධ්‍යයනය කළ යුත්තේ එබැවිනි.


Author - Staff writer
Staff writer
Make a Comment