සිරකරුවන් එල්ලන ජනපතිගේ තීන්දුවට අධිකරණයෙන් අතුරු තහනමක්

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 05. 07. 2019 | 4.19pm
සිරකරුවන් එල්ලන ජනපතිගේ තීන්දුවට  අධිකරණයෙන් අතුරු තහනමක්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර 30 වැනි දා තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.


මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.


මෙහෙදී ඇතැම් නීතීඥවරුන් තර්ක කළේ තෝරාගත් සිරකරුවන් හතර දෙනකු පමණක් එල්ලා මරා දැමීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමානව සැලකීමේ අයිතිවාසිකම උල්ලංඝණය වන බවයි. නීතිපතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ස්ථාවරය වූයේ මරණීය දණ්ඩනය යනු ශ්‍රී ලංකාවේ නීති වල සඳහන් දඬුවමක් බැවින් ජනාධිපතිවරයාගේ නියෝගයෙන් මූලික අයිතිවාසිකම් කඩ නොවන බවයි.


මෙම පෙත්සම් යළිත් ඔක්තෝබර් 29 වැනිදා සලකා බැලීමට තීරණය කර ශ්‍රේෂ්ඨාධිකරණය ඔක්තෝබර් 30 වැනි දා තෙක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

 

මෙම  පෙත්සම් අද කැඳවනු ලැබුවේ බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.

Share