RTI

ත්‍රස්ත චෝදනා ගැන රිෂාඩ් කාරක සභාවේ සාක්කි දෙයි

28. 06. 2019 | 3.53pm
Change Language
ත්‍රස්ත චෝදනා ගැන රිෂාඩ් කාරක සභාවේ සාක්කි දෙයි

‘‘ඉස්ලාම් ආගමේ තියෙන්නේ රටේ නීතියට ගරු කරන්න කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට යන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට ගිහින් ආණ්ඩු පිහිටවපු නිසයි අපි (ඔක්තෝබර්) උදව් කළේ නැත්තේ.  වෙනත් රටවල නීති (අරාබි රටවල)  මෙහෙට ගේන්න ඕන නෑ. එහෙම ගේන්න කියනවා නම් වැරදි. ‘‘  යැයි හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්කි දෙමිනි.


ප්‍රශ්නය - සතොස වාහන ත්‍රස්තවාදී වැඩවලට භාවිත කළා කියා චෝදනා තිබෙනවා?

පිළිතුර -  පසුගිය ඔක්තෝබර මාසයේ හදපු ආණ්ඩුට මට එන්න කියා නිතරම කිව්වත් මම නොගියපු නිසා එක මන්ත්‍රීවරයෙක් මට මේ චෝදනාව කළා. තවත් මන්ත්‍රීවරයෙක් මේක කිව්වා.  මම බලං හිටියා මේ බරපතල චෝදනා ගැන ඔවුන් පොලිසියට පැමිණිලි කරයි කියලා. නමුත් කළේ නෑ. මම පොලිසියට ගිහින් එතුමන්ලාට විරුද්ධව පැමිණිලි කළා.   


ප්‍රශ්නය - පාස්කු ප්‍රහාරයේ  පරීක්ෂණ කටයුතුවලට බාධා කළා කියා චෝදනා තිබෙනවා? මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ උපදේශකයකුගේ දරුවකු සම්බන්ධයෙන් ඔබ යුද හමුදාපතිට කතා කලාද?

පිළිතුර - ඔහු රාජ්‍ය පරිපාලන පළමු වැනි ශ්‍රේණියේ නිලධාරියෙක්. මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමිතිවරයකු ලෙස සිටියදී ඔහුගේ අමාත්‍යංශයක අතිරේක ලේකම්වරයකු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා.  1990 දී මුස්ලිම් වැසියන්ව එල්ටීටීයෙන් පන්නලා කඳවුරුවලට ආවට පස්සේ පුණරුත්තාපන අධ්‍යක්ෂ ලෙස හිටියේ ඔහු. ඔහු පොලිසියට පැමිණිලි කරලා තියෙනවා නොදන්නා පිරිසක් පුතාව අරගෙන තියෙනවා කියලා. පොලිසිය කිව්වලු අපි ගාව නෑ කියලා. එස්ටීඑෆ් එකෙනුත් කිව්වලු ගත්තේ නෑ කියලා. ඔහු මගේ ගෙදරට ඇවිත් අඬ අඬා කිව්වා පුතා කොහෙද කියලා බලලා කියන්න කියලා. දෙහිවල පොලිස් ස්ථානාධිපතිගෙන් ඇහුවාම ඔහු කිව්වා අපි හොයනවා කියලා. දෙහිවල භාර ඩීඅයිජී වික්‍රමසිංහ මහතාට ගත්තම කිව්වා අපි ගත්තේ නෑ කියලා. මම හමුදාපතිට ගත්තම කිව්වා බලලා කියන්නම් කියලා. තාත්තා දිගින් දිගටම අහන නිසා තවත් වරක් ගත්තා. ඔහු කිව්වා බලලා කියන්නම් කියන්නම් කියලා. ඉන් පස්සේ 28 වැනිදා ආයෙත් කතා කළාම කිව්වා අපි අරං ඉන්නවා පොලිසියට බාර දෙන්න ඉන්නේ කියලා. ඉන් පස්සේ මම ගත්තේ නෑ.   මම බලාපොරොත්තු වුණේ මොකද වුණේ කියලා බලාගන්න විතරයි.  ඒ තාත්තට ඕන වෙලා තිබ්බෙත් ඔහු ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා බලා ගන්නයි. හමුදා බාරයේ සිටින බව දැනගත් පසු මම ආයේ  කතා කළේ නෑ.


ප්‍රශ්නය - ඊබ්‍රහිම් නම් කුළුබඩු ව්‍යාපාරිකයාගේ බඩු ගන්න කියලා ඔබ බලපෑම් කරලා තියෙනවාද?

උත්තරය - ඒ ගැන ලේකම්ගෙන් අහන්න පුලුවන්. මම බලපෑම් කරලා නෑ. 


ප්‍රශ්නය - තුර්කියෙන් අන්තවාදීන් පිරිසක් ගැන තොරතුරු එවා තිබු බව ඔබ දන්නවද?

උත්තරය - මම දන්නේ නෑ


ප්‍රශ්නය - ඔබ කාන්තන්කුඩියේ දේශපාලනය කරනවද?
උත්තරය - එතරම් ලොකු දේශපාලනයක් එහේ කරන්නේ නෑ. එක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විතරක් අපෙන් පත්වුණා. 


ප්‍රශ්නය - සිද්ධිය වෙන්න කලින් මේ ත්‍රස්වාදී ක්‍රියා ගැන දැනගෙන හිටියද?

ඔයාලගේ ආගම ඔයාලට. මගේ ආගම මට ‘ කියලා කුරාණයේ තිබෙනවා. ආගමේ අයට ප්‍රශ්න ඇති. මම දේශපාලකයෙක්. මම ආගමික ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්නේ නෑ. සහරාන් කියන්නේ මවුලවි නෙමෙයි. ඔහු ආගමික නායකයෙක් නෙමෙයි. ඔහුම විතරයි මවුලවි කියලා හඳුන්වා ගන්නේ. ත්‍රස්තවාදී කල්ලිය ගැන මම දැනගෙන හිටියේ නෑ සිද්ධිය වෙන්න කලින්.


ප්‍රශ්නය - හිස්බුල්ලා ඔබේ පක්ෂයේ නේද හිටියේ?

පිළිතුර - හිස්බුල්ලා අපේ පක්ෂයේ අවුරුදු 5ක් පමණ හිටියා. පහුගිය ජනාධිපතිවරණයේ දී අපි මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන්න ගත්තට පස්සේ ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන්න ගියා. 


ප්‍රශ්නය - 2015 දී ඡන්දය ඉල්ලපු අය සහරාන් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙන බව ඔබ දන්නවද?

පිළිතුර - මම මේ කමිටුවෙදි ඒ ගැන කියනවා දැක්කා. ඉන් පස්සේ මම අපේ අමීර් අලී මන්ත්‍රීතුමාගෙන් ඇහුවා. ඔහු කිව්වා එහෙම ගිවිසුමක් අත්සන් කළේ නෑ කියලා.


ප්‍රශ්නය -  ඔබ සහාරන් හමුවෙලා නෑ කිව්වට ඔබ හා සහරාන් හමුවූ බවට මාධ්‍යවල ඡායාරූප පළවුණා.

පිළිතුර -  2015 ඔක්තෝබර් 15 වෙනිදා අරාබි විද්‍යාලයේ උත්සයක ගත්ත පින්තූරයක් ඒක. ඒ ඉන්නේ සහරාන් නෙමෙයි. ඒ ඉන්නේ මවුලවි නිස්තාර්. ඔහු මට ලියුමක් එවලා තියෙනවා මාව සහරාන් කියලා නාලිකාවෙන් පෙන්වනවා කියලා. ඔහු නිට්ටඹුව පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාලත් තිබෙනවා. ඔහු කොළඹ පොලිස් මූලස්ථානයට ගිහිනුත් පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ බොරු චෝදනා. 


ප්‍රශ්නය -  විල්පත්තුවේ ඉඩම් අක්කර ගණනක් ඔබට තිබෙනවා කියලත් චෝදනා ආවා?

පිළිතුර -  2015න් පස්සේ උතුරු පළාතේ ඉඩම් දීලා නෑ. 2009 යුද්ධෙන් පස්සේ කාර්ය සාධක බළකායක් පිහිටෙව්වා. ඒකට යුද හමුදාපති, පොලිස්පති, වන සංරක්ෂක ජනරාල්, දිසාපතිලා හිටියා. ඒ කමිටුව තමයි නැවත පදිංචි කිරීම් කරන්නේ කොහෙද කියලා තීරණය කළේ. ගිය ආණ්ඩුවයි ඒක කළේ. ගිය ආණ්ඩුව කළේ දේ වැරදි කියලා මම කියන්නේ නෑ. විල්පත්තු වනෝද්‍යානය ඇතුළේ එක පවුලකටවත් ඉඩම් දුන්නේ නෑ. ඒ පදිංචි කිරීම් කළේ මන්නාරමේ. මේ චෝදනා ගැන ජනාධිපතිවරයා කමිටුවක් පත් කළා. ඒ වාර්තාවේ තිබෙනවා විල්පත්තු වනෝද්‍යානය ඇතුළේ පදිංචි කරලා නෑ කියලා. විල්පත්තුව තියෙන්නේ පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට. මන්නාරම දිස්ත්‍රික්කෙයි පදිංචි වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව ආවට පස්සේ ඉඩම් දුන්නේ නෑ. දුන්නේ 2012, 2013 කාලෙදි.


ප්‍රශ්නය - ඔබට සහ පවුලට අක්කර 3000ක් හෝ 8000ක් තිබෙන බවට චෝදනාවක් කරලා තිබුණා නේද
පිළිතුර - මගේ මුලු පවුලටම තිබෙන්නේ මට අක්කර 55යි.  එස්බී දිසානායක මන්ත්‍රීවරයා කිව්වා මට අක්කර 8000ක් තිබෙනවා කියලා. මට දූපතක් තියනවා කියලත් කිව්වා. ඒ මන්ත්‍රීවරයා ගෙනත් ප්‍රශ්න කරන්න.  පවුලට තියන අක්කර 55ට අමතරව තව තියන ඒවා එතුමාගෙන් අහලා දැනගෙන රජයට පවරා ගන්න. මේ ගැන විමර්ශනයක් කරන්න කියලා මම ඉල්ලනවා.

 
මගේ මල්ලිව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා මුදා හැරියා කියලා මාධ්‍ය වාර්තා තිබුණා. එය සම්පූර්ණ බොරුවක්. මගේ මල්ලිව අත්අඩංගුවට ගත්තේ නෑ.  ඒ ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ පවා ගියා මල්ලිව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා මුදා හැරියා කියලා. 25  මන්නාරම තාරපුරම් නිවාස සහ පුද්ගලයන් පරීක්ෂා කරලා තිබෙනවා. මගේ මල්ලි ඒ වෙලාවේ වාහනයක ඉඳලා තිබ්බේ. එයත් සාමාන්‍ය විදියට පරීක්ෂා කරලා ඔවුන්ව යවලා තියනවා. මල්ලි අත්අඩංගුවට ගත්තු කතාව බොරුවක්. (වැඩබලන පොලිස්පතිගේ වාර්තාවක් කියවයි) 


කමිටුව හමුවේ සාක්කි දුන් රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද කීවේය.


‘‘ත්‍රස්තවාදය නිසා මේ පාර්ලිමේන්තුවේ මම තමයි වැඩියෙන් ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙන්නේ. යුද්ධෙදි එල්ටීටීඊයෙන් අපිව එළවද්දි අපි ඇවිත් කඳවුරුවල ජීවත් වුණා. දුක්වින්දා. දැන් මේ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතුයි.  ත්‍රස්තවාදය තුරන් කරන්න උපරිම සහයෝගය දෙනවා. බෞද්ධ, කතෝලික ස්ලාම් ආගමික නායකයන් එකතු වෙලා වැඩ කළ යුතුයි. මට විරුද්ධව විශ්වාස භංග යෝජනාවේ තිබුණු චෝදනා 10ම බොරු චෝදනා. විශ්වාස භංගයට අත්සන් කළ අයගේ වගකීම තමයි රිෂාඩ්ට විරුද්ධව පැමිණිලි කරන්න කිව්වට පස්සේ ගිහින් පොලිසියට පැමිණිලි කරන්න තිබ්බා. මගේ නම කියලම පොලිසිය කිව්වා පැමිණිලි කරන්න කියලා. මේ මව් රටට අපි ආදරෙයි. රට තිබ්බොත් තමයි අපිට දේශපාලනේ කරන්නත් පුලුවන්. අවස්ථාවදී දේශපාලනය කරන්න හොඳනෑ මේ වෙලාවේ. ආයෙත් ත්‍රස්තවාදයක් මේ රටට එපා. ආගම්, පක්ෂ බේදයෙන් තොරව රට ගැන හිතලා හැමෝම එකතු වෙලා මේ ත්‍රස්තවාදය තුරන් කළ යුතුයි. පාරවල් වල නම් අරාබි භාෂාවෙන් යෙදීම අනවශ්‍ය  වැඩක්. එහෙම ඕන නෑ. සිංහලෙන්, දෙමළෙන් සහ  ඉංග්‍රීසියෙන් තිබුණම ඇති. ‘‘

Make a Comment