RTI

ලොව අංක එකේ එක්දින කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

21. 06. 2019 | 2.54pm
Change සිංහල | தமிழ் | English
ලොව අංක එකේ එක්දින කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ලෝක කුසලාන තරගය ලකුණු 20කින් ජයග්‍රහණය කිරීමට  ශ්‍රී ලංකාව අද (21) සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර අසීරු ඉනිමකින් අනතුරුව ශ්‍රී ලංකාවට ලබාගත හැකි වූයේ ලකුණු 232ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයද ඉතා අසීරු ඉනිමක් ක්‍රීඩා කළ අතර පන්දුවාර 47ක් තුළ සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 212ක් පමණි.

පෙර තරග වලදී ශක්තිමත් ආරම්භයක් ලබාගත් දිමුත් කරුණාරත්නට සහ කුසල් පෙරේරාට මෙම තරගයේ ආරම්භක සම්බන්ධතාවය වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 03ක් පමණයි.මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 03ක් ලෙස සටහන් වෙද්දී පළමු කඩුල්ල ලෙස දිමුත් දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස කුසල් පෙරේරා දැවී ගියේ ද ලකුණු පුවරුව 3-2ක් ලෙස සටහන් කරමිනි.

කල්පනාකාරී සහ තාක්ෂණික ඉනිමක් ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 39කදී ලකුණු 49ක් ලබාගත්තේය. කුසල් මෙන්ඩිස් පන්දු 68කදී ලකුණු 46ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් පන්දු 115කදී ලකුණු 85ක් වාර්තා කළේය.මෙම තරගයේදීද ක්‍රීඩකයින් 07 දෙනකු ලකුණු 10කට වඩා අඩු ලකුණු ලබාගෙන දැවී ගිය අතර ධනංජය සිල්වා පන්දු 47කදී ලකුණු 29ක් ලබාගත්තේය.

ජේසී ආචර් සහ එම්ඒ වුඩ් අතර කඩුළු තුන බැගින් බෙදී ගිය අතර ඒයූ රෂීඩ් කඩුළු දෙකක්ද සීආර් වොඇක්ස් එක් කඩුල්ලක්  දවාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි එංගලන්ත මුල් කඩුළු දෙක ලකුණු 26කට මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ දැවී යන අතර ජෝ රූට් ලකුණු 57කට දැවී ගියේ ද මාලිංගගේ පන්දුවක් හමුවේ ය.විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මාලිංග ලකුණු 43කට කඩුළු 4ක් දවාගත්තේ ලෝක කුසලාන කඩුළු 50 පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙසයි.

සුපුරි ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 82ක් රැස් කළේය.

ධනංජය ද සිල්වා කඩුළු තුනක් ද ඉසුරු උදාන කඩුළු දෙකක් ද නුවන් ප්‍රදීප් එක් කඩුල්ලක් ද බැගින් දවාගත්හ.තරගයේ වීරයා සම්මානය ලසිත් මාලිංගට හිමිවිය.

වසර 20ක ඉතිහාසය තුළ එංගලන්තයට ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට හැකි වී නැත.

 

Author - Staff writer
Staff writer
Make a Comment