RTI

සෞඛ්‍ය ඇමතිට වැඩිපුර වාහන 15ක් - වාහන 1797ක් ආගිය අතක් නෑ

19. 06. 2019 | 8.14pm
Change Language
සෞඛ්‍ය ඇමතිට වැඩිපුර වාහන 15ක් - වාහන  1797ක් ආගිය අතක් නෑ

චක්‍රලේඛ උල්ලංඝණය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා, සහායක කාර්ය මණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සදහා නියමිත ප්‍රමාණයට වඩා වාහන 24ක් සහ වාහන සදහා රුපියල් මිලියන 6.62ක අමතර ඉන්ධන නිකුත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද විශේෂ විගණනයකදී අනාවරණය වී තිබේ.

 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වාහන කළමනාකරණය පිළිබඳ සකස් කරනු ලැබ ඇති මෙම විශේෂ විගණන වාර්තාව මගින් ජනාධිපති ලේකම්වරයාගේ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංගණය වී ඇතැයි එහි සදහන් වෙයි.අදාළ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකු වෙනුවෙන් වෙන් කළ හැක්කේ වාහන තුනක් පමණක් වූවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 18ක් වෙන්කර තිබූ බව සදහන් වෙයි.

 

2017 වසරේ දෙසැම්බර් 31 වැනි දිනට පෙර දත්ත පරීක්ෂා කිරීමෙන් පසු සැකසුණ බව කියැවෙන මෙම විගණන වාර්තාවට විගණකාධිපතිවරයා අත්සන් කර ඇත්තේ 2019 අප්‍රේල් 22 වැනි දාය.

 

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා එක් වාහනයක් පමණක් වෙන් කර හැකි වූවත් වාහන දෙකක් ලබා ඔහු වෙනුවෙන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

 

නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වෙන් කළ හැකි අනුමත සංඛ්‍යාව වාහන තුනක් වුවද ඔහු වෙනුවෙන් වාහන 11ක් තිබී ඇතැයි අදාළ වාර්තාවේ සදහන් වෙයි. 

 

අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ යටතේ කාර්ය මණ්ඩලයේ 33 දෙනකු සේවය කරන අතර ඔවුන්ගේ එක් වගකීමක් වන වාහන පාලනය හා විධිමත් පරිදි පොත් පවත්වාගෙන යෑම සිදුවී නොමැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි. 

 

මීට අමතරව හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ අමාත්‍ය කර්ය මණ්ඩල නිලධාරියකු තම ධුරය කාලයෙන් පසු යතුරුපැදි දෙකක් හා මෝටර් රථයක් රැගෙන ගොස් ඇති බව ද අනාවරණය වී තිබේ.

 

වාහන 1794ක් අස්ථාන ගතවීම

 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද  2017 දෙසැම්බර් මස 31 වැනි දිනට යාවත්කාලීන වූ තොරෙතුරු අනුව අමාත්‍යංශය සතුව වාහන 5556ක් තිබිය යුතු වවද, 2017 දෙසැම්බර් 31 වැනි දිනට යාවත්කාලින කරන ලද අමාත්‍යංශ ලේඛනවලට අනුව අමාත්‍යංශය සතුව ඇත්තේ වාහන 5354ක් බව ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. 

 

එම අමාත්‍යංශයට අයත් වාහන තුනක් 2017 ජනවාරි පළමු වැනි දා සිට 2017 ජුනි 30 දක්වා අතර මාස හයක පමණ කිසිදු අවස්ථාවක අමාත්‍යංශයට පැමිණ නැතැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.

 

සෞඛ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන් කර ඇති වාහනවලට අමතරව 2017 ජනවාරි සිට ජූනි දක්වා කාලයේදී අවස්ථා 314ක දී අමාත්‍යංශ සංචිතයේ ඇති වාහන අනියුක්ත කර තිබූ බවත්, අවස්ථා 102කදී කිලෝමීටර් 56,182ක් සඳහා රුපියල් 795,370ක ඉන්ධන වැය වී තිබූ බවත් එම වාර්තාවට අනුව පෙනී යයි.

  

වාහන 1794ක් අස්ථාන වී ඇතැයි ද අමාතයංශයෙන් පිටස්තර පාර්ශ්වවලට පවරා තිබූ වාහන 259කින් 177ක පැවරීම් නීත්‍යනුකූල බවට තහවුරුවි නැතැයි ද සදහන් වෙයි.එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණත් අමාත්‍යංශ ලේඛනයේ ඇතුළත් නොවූ වාහන 202ක් අතරින් වාහන 171ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි ද එහි වැඩිදුරටත් සදහන් වෙයි.මේ හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි මට්ටමේ අලාභයක් ආණ්ඩුවට සිදුවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම වාර්තාව මගින් නිගමනය කර තිබේ. 

 

Make a Comment