RTI

අහිංසකයන් කූඩු කරන පොලිසිය

17. 06. 2019 | 5.49pm
Change සිංහල | தமிழ் | English
අහිංසකයන් කූඩු කරන පොලිසිය

මැයි 17 වැනිදා පොලිසිය විසින් අබ්දුල් රහීම් මසාහිනා නම් 47 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත්තේ ඇය හැද සිටි ඇඳුමේ ‘ධර්ම චක්‍රය‘ තිබුණා කියාය.නමුත් එම ඇඳුමේ තිබුණේ ධර්ම චක්‍රයක් නොව නැවක සුක්කානමක් බව පෙනෙන්නට තිබිණි.

නමුත් ඇයව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලිසිය ඇයට ප්‍රකාශ කර ඇත්තේ ඇගේ ඇඳුමේ බෞද්ධ ලාංඡනයක් වන ධර්ම චක්‍රය ඇති නිසා අත්අඩංගුවට ගන්නා බවටයි.මසාහිනා මීට පෙර එම ඇඳුම කිහිප වතාවක් ඇද තිබුණද කිසිවෙක් ඒ සම්බන්ධයෙන් ඇයට කිසිම ආකාරයෙන් දෝෂාරෝපණයක් හෝ දැන්වීමක් කර නැත.

“ඒක ධර්ම චක්‍රයක් නම් කවුරු හෝ මට කියනවා“යැයි ඇය කීවාය.ඇයට ඇදුම රෝගය සහ අධි රුධිර පීඩනය යන රෝග ඇති බවට කියැවේ.

බුද්ධ ශාසන අමාත්‍යංශය පසුව අදාළ බලධාරීන්වලට දැනුම් දී තිබුණේ ඇගේ ඇඳුමේ සටහන් කර ඇත්තේ ධර්ම චක්‍රයද කියා තීරණය කිරීමට නොහැකි බවයි.

කොළඹින් කිලෝමීටර් 130ක් පමණ දුරින් පිහිටා තිබෙන හසලක පොලිසිය මසාහිනාට චෝදනා ගොනු කරන්නේ වෛරී ප්‍රකාශ නීතිය යටතේ ය.එමෙන්ම ආගම්වලට නිගරු කිරීම තහනම් කරන ‘ආගමික හැගීම්වලට අපහාස කිරීමේ ද්වේශ සහගත චේතනාව ‘ යන චෝදනාද ගොනු කර ඇතැයි ඇයගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෆාතිමා නුෂ්රා ෂාරුක් පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සහ ඉන්පසු ඇතිවූ සිද්ධීන්වලට 2289ක් අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මීට පෙර ප්‍රකාශ කරන ලදී.මෙම කාන්තාවද ඊට ඇතුළත් බව රුවන් ගුණසේකර මහතා අල්ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර තිබිණි.නමුත් ඇයට එරෙහිව පොලිසිය ගොනු කර ඇති චෝදනා අදාළ වී තිබෙන්නේ ඇගේ ඇඳුම සම්බන්ධයෙන් පමණි.

පාස්කු ඉරිදා පල්ලි කිහිපයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ ප්‍රහාරයෙන් 250කට අධික පිරිසක් මිය ගිය අතර 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.එම ප්‍රහාර මාලාවේ වගකීම අයිඑස් සංවිධානය බාරගත්තේය.අත්අඩංගුවට ගත් අය අතරින් 1655ක් ඇප මත නිදහස් කර ඇති අතර 634 දෙනෙක් තවමත් අත්අඩංගුවේ පසුවෙති. ඔවුන් රිමාන්ඩ් කර හෝ තවමත් පරීක්ෂණ සිදු කෙරෙන හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.රිමාන්ඩ් කර ඇති 423 අතරින් 358ක් මුස්ලිම් වැසියන් වේ.

“පොලිසියේදි එක් නිලධාරියෙක් මට මගේ headscarf එක ගලවලා ඒ ඇඳුම දාගන්න කිව්වා.ඒ අතර අනෙක් නිලධාරීන් මගේ ඡායාරූප ගත්තා“මසාහීනා කීවාය.

ඇය සිර කූඩුවේ සිටි දින 17දී එහි නිලධාරීන් ඇයට ‘ත්‍රස්තවාදීයා‘ යනුවෙන් නැවත නැවතත් ආමන්ත්‍රණය කර තිබේ.ජූනි 03 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය ඇයට ඇප ලබා දීමට නියෝග කළ අතර ලබන නොවැම්බර් මාසයේදි ඇය නැවතත් අධිකරණයේ පෙනී සිටිය යුතුය.යම් හෙයකින් ඇය වරදකරු බවට අධිකරණයෙන් තීන්දු වුවහොත් වසර දෙකක් දක්වා වූ සිර දඩුවමක් හිමි විය හැකිය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් තුනක් පමණ බෞද්ධය.සියයට දහයක් පමණ මුස්ලිම් වන අතර ඉතිරිය හින්දු හා ක්‍රිස්තියානි ය.

ඇය සිර කූඩුවේ සිටින කාලයේදී ඇගේ රුධිර පීඩනයද වැඩි වී ඇති අතර නිවසට පැමිණ දිනයේ සිට රෝගාතුර වී සිටියි.එදිනෙදා කම්කරු වැඩ කළ ඇගේ සැමියා වන මුනාෆ් ද ඇය රැකබලාගැනීම සදහා තම රැකියා කටයුතුවලින් ඉවත් වී සිටියි.මේ හේතුවෙන් දැනට ඔවුන්ට අදායම් මාර්ගයක් නැත.

අත්තනෝමතික ලෙස මුස්ලිම් වැසියන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි එම කොමිසමේ සභාපතිනී දීපිකා උඩුගම මහත්මිය පවසයි.“එවන් අත්අඩංගුවට ගැනීම් ගැන අපි  දැඩි සැලකිල්ලක් දක්වනවා.අපි මේ සම්බන්ධයෙන් උදාහරණ සහිතව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා"ඇය කීවාය.

අත්තනෝමතික රදවා තබාගැනීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය 2017දී නිකුත් කෙරුණු වාර්තාවක් මගින් සදහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ පද්ධතිමය ගැටළුවක් ඇති බවට හදුනාගත් බවත් විත්තිකරුවන් අත්තනෝමතික ලෙස රදවාගැනීමට වැඩි අවදානමක් ඇති බවත් ය. කෙසේ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර අත්තනෝමතික රදවාතබාගැනීම් බොහෝමයක් ඉලක්ක කෙරුණේ දෙමළ වැසියන් කෙරෙහිය.ඊලමක් ඉල්ලා යුද වැදුණු බෙදුම්වාදී එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය සමග පැවති සිවිල් යුද්ධය වසර 26කට අධික කාලයක් පැවතිණි. . 

මුස්ලිම් වැසියන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව ඇත්දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අසන ලද ප්‍රකාශයකට ඔහු පිළිතුරු සැපයුවේ “මම කොහොමද මේක කියන්නේ.කාටහරි විරෝධතාවයක් තිබේනම් පොලිස් මූලස්ථානයට හෝ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ හැකියි.“යනුවෙනි.පොලිස් මූලස්ථානයට එවන් පැමිණිලි තවමත් ලැබී නැතැයි ප්‍රකාශ කෙරිණි.

බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පැවසූවේ ශ්‍රී ලංකාවේ සංහිදියාවට සහ සාමයට බාධා කරමින මුස්ලිම් ජනයා වෙත එල්ල කෙරෙන දේශපාලනමය සහ ආගමික පීඩනය කෙරෙහි තමන් දැඩි අවධානයක් යොමු කරන බවටයි.

බදුල්ලෙන් තවත් කතාවක්

පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන් වූ තම සැමියා සම්බන්ධයෙන් තමන් කරන ලද පැමිණිල්ල බාරගැනීමට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික්කයේ එක් පොලිස් ස්ථානයකින් පැවසූ බව 58 හැවිරිදි කාන්තාවක් අල් ජසීරා වෙත ප්‍රකාශ කළාය.

ඔහුට විදේශ ගමන් බලපත්‍ර දෙකක් තිබුණේ ඇයිදැයි ප්‍රකාශයක් ලබාදීමට පොලිස් ස්ථානයට පැමිණෙන්නැයි පොලිසිය ඔහුට දැනුම් දී තිබුණු බව ඇය පැවසුවාය.එක් විදේශ ගමන් බලපත්‍රයක් කල් ඉකුත් වී තිබූ බවත් අනෙක ඒ වෙනුවට ලබාගත් විදේශ ගමන් බලපත්‍රයක් නිසාත් එය සැලකිය යුතු තරම් ගැටළුවක් නොවූ බව ඇය කීවාය.නමුත් තම සැමියා පොලිසියට ගොස් නැවත පැමිණියේ නැති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් කළ විමසීමේදී ඔහු ඉන්නා තැන පැවසීමට ප්‍රතික්ෂේප කළ බවත් ඇය සදහන් කර තිබේ.

දින 12ක් කළ සොයාබැලීමකින් අනතුරුවත් තොරතුරක් නොලැබුණු නිසා මානව හිමිකම් කොමිසමේ සහය පැතීමට ඇය තීරණය කර තිබිණි.ඉන් අනතුරුව ඔහු කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID)  සිටින බවට සොයාගෙන තිබේ.ඔහු ජූනි 03 වැනිදා වන විට නිදහස් කරන බවට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පැවසූවද ඉන් සතියක් ගතවන තුරුත් ඔහු නිදහස් කර තිබුණේ නැත.

පළුදු වූ මෙමරි කාඩ්පතක් ළග තිබුණැයි තරුණයෙක් අත්අඩංගුවට

20 හැවිරිදි අස්ලම් රිස්වි අත්අඩංගුවට ගෙන රදවාගෙන තබාගෙන ඇත්තේ පළුදු වූ මෙමරි කාඩ්පතක් ළග තබාගැනීම හේතුවෙනි.පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වට්ස්ඇප් ගෘපයක් හරහා ලැබුණු වීඩියෝවක් ජංගම දුරකථනයේ තිබුණායැයි පවසමින් ඔහුගේ අසල්වාසි මිත්‍රයකු වූ අබ්දුල් අරීස් නැමැති 19 හැවිරිදි තරුණයකු ද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුගියදා ඇමති ධුරයෙන් ඉවත් වූ රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර තිබුණේ කිසි නොවැදගත් ඉතා සුළු හේතුන් වලට අදාළ පිරිස් හිරිහැරයට ලක් කරමින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින බවයි.

“පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් අපේ ජන කොට්ඨාසයෙන් බව සත්‍යයි. නමුත් ප්‍රහාරයෙන් පසු පළමු දිනයේ සිටම මුස්ලිම් ප්‍රජාව ත්‍රිවිධ හමුදාවලට සහය දුන්නා ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට. අපිත් මෙම ක්‍රියාවලියේදී අතිමහත් ලෙස දුක්වින්දා“ඔහු පැවසීය.

මෙය සහරාන් හෂීම්ගේ උපන් නගරය වන කාත්තන්කුඩි ප්‍රදේශයේ බරපතල ලෙස සිදුවිය.

 “හැමෝම බයවෙලා ඉන්නේ.අහිංසක මිනිස්සු ගොඩක අත්අඩංගුවට අරගෙන තියෙනවා.අපි සැක සහිතයි කියලා මිනිස්සු හිතුවොත් ඔවුන් පොලිසියට කතා කරනවා“නම සදහන් නොකරන ලෙස ඉල්ලූ කාන්තන්කුඩියේ ජීවත්වන විශ්වවිද්‍යාල ආචාර්යවරයකු පැවසීය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන සමාජයේ සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් සිටි.සීග්‍රයෙන් වැඩි වන අත්තනෝමතික රදවාගැනීම් සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස එහි ප්‍රධානී මුෆ්ටි රිස්වි එම කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.

 “කුරාණයක් ළග තිබුණායැයි වැඩිහිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා,නැවක සුක්කානමක් වැනි පින්තූරයක් සහිත ඇදුමක් ඇද සිටියායැයි තවත් අහිංසක දුප්පත් කාන්තාවක් අත්අඩංගුවට ගත්තා,තවත් ගැබ්බර කාන්තාවකුත් අත්අඩංගුවට ගෙන තිබුණා.මෙය දිගින් දිගටම සිද්ධ වෙනවානම් කොහොමද බලාපොරොත්තු වන්නේ  මේ රටේ යහපතක් වෙයි කියලා“ඔහු පැවසීය.

අල්ජසීරා ඇසුරෙන් කරනලද සම්පූර්ණ පරිවර්තනයකි 

වෛද්‍ය සාෆිගේ වඳ කතාවේ ඇත්ත නැත්ත

හිමිනමක් නිසා ඇවිළුණ රත්නපුර තරුණයන්ගේ ඇත්ත කතාව - එහි වීඩියෝව පහතින්

Author - Staff writer
Staff writer
Make a Comment