RTI

පොලිසියයි මාධ්‍යයි තවත් නිවැරදිකරුවකු අපරාධකරුවෙක් කළ හැටි

29. 05. 2019 | 2.21am
Change Language
පොලිසියයි මාධ්‍යයි තවත් නිවැරදිකරුවකු අපරාධකරුවෙක් කළ හැටි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අහිංසක ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි විය.පාස්කු ප්‍රහාරයෙන් පසු ද ශ්‍රී ලාංකික අහිංසක ජීවිත කෙමෙන් කෙමෙන් විනාශ වෙමින් පවතින ආකාරයක් පසුගිය කාලසීමාවේදී දැකගත හැකිවිය.අන්තවාදීන් මුස්ලිම් නිවෙස්වලට සහ ව්‍යාපාර ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් ද තවත් පිරිසකට පොලිසියේ සහ මාධ්‍යවල වරදින් ද තම සුන්දර ජීවිත විනාශ වෙමින් පවතී.

මෙහිදි ‘ජීවිත‘ යනු අහිංසක මිනිසුන්ගේ චරිතය සහ ජීවිකාව යි.ඇත්ත වශයෙන්ම මිනිසකුට ජීවත් වීමට අවශ්‍යම කාරණා දෙකක් ලෙස මෙය හුවා දැක්විය හැකිය.නියම හෘද සාක්ෂියක් සහිතව චරිතවත්ව ජීවත් වූ මිනිසකුට චරිතයක් නොමැතිව ජීවත්වීම තරමක් අපහසු දෙයකි.ජීවිකාවක් එසේත් නොමැතිනම් රැකියාවක් නොමැතිව මිනිසකුට අද ජීවත් විය නොහැකිය.මේ කාරණා දෙකම නොමැතිව ජීවත් වීම ඉතාමත් අපහසුය.

මාධ්‍ය සහ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන තවත් එක් ‘ජීවිත නැතිකිරීමක්‘ මේ වන විට රට තුළ සිදුවෙමින් පවතී.එය නම් අහිංසක මුස්ලිම් වැසියන් කිසිදු පදනමක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සහ ඒ ගැන මාධ්‍ය හරහා දැඩි ප්‍රචාරයක් ලබා දී ඒ අහිංසකයන්ගේ චරිතය සහ ජීවිකාව නැති කර දැමීමයි.

යම් සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමේදී මාධ්‍ය ලබාදෙන පුළුල් ප්‍රචාර අදාළ සැකකරුවා නිදහස් වන විට ලැබෙන්නේ නැත‍.අත්අඩංගුවට ගනු ලැබීමේදී සමාජ මාධ්‍ය ජාලා හරහා ලබාදෙන පුළුල් ප්‍රචාරය සැකකරු නිදහස් වන විට කිසිසේත්ම ලැබෙන්නේ නැත.අත්අඩංගුවට ගත් විට මාධ්‍ය වාර්තා ස්ක්‍රීන්ෂොට් ගසා ඊට තවත් කතා එක්කර ඕනාවට වඩා ප්‍රචාරයක් ලබා දෙන සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන්නන් අදාළ සැකකරුවන් නිදහස් වූ විට එකදු වචනයක් සටහන් කරන්නේ නැත.

මෙයට එක් උදාහරණයක්  මැයි 13ට පාර කැපූ ජනමාධ්‍ය ලිපියේදී සදහන් කෙරිණි.මේ කියන්නට යන්නේ තවත් එවන් සිද්ධියකි.ඉකුත් මැයි 12 වැනි දා පොලිසිය විසින් අනුරාධපුර උදය මාවතේ නිවසකදී 58 හැවිරිදි මුස්ලිම් ජාතික මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගනු ලැබීය.ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස පොලිසිය ප්‍රකාශ කර තිබුණේ හෝ මාධ්‍ය වාර්තා කර තිබුණේ  ‘නිවසක සගවා තිබූ සංයුක්ත තැටි 326 ක්‘ ලෙසය. සියලු මාධ්‍ය ‘මුස්ලිම් ජාතික මාධ්‍යවේදියකු‘ ලෙසත් සටහන් කර තිබු බව කිව යුතුමය.අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙර මාධ්‍ය සදාචාර කුණු කූඩයට දමා අදාළ පුද්ගලයාගේ නම් ගම් පවා හරි හරියට වාර්තා කෙරිණි.

අදාළ මාධ්‍යවේදියා හමුදාව සහ පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.ඔහු විද්‍යුත් නාලිකාවක සේවය කරන 
58 හැවිරිදි මාධ්‍යවේදියකු බවත් අදාළ සංයුක්ත තැටි සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශන ආරම්භ කළ බවත් එම මාධ්‍ය වාර්තා වල සදහන් විය.මැයි 13 වැනි දා ඔහු හදිසි නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර අධිකරණය මගින් රිමාන්ඩ් කරනු ලැබීය.ඔහු රිමාන්ඩ් කෙරුණු අවස්ථාවේදී මාධ්‍ය ඔහුව හදුන්වා තිබුණේ‘අන්තවාදී ආගමික සංවිධානයක දේශන ඇතුළත් සංයුක්ත තැටි තබාගත්තැයි අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික මාධ්‍යවේදියා“ ලෙසයි.

පොලිසියද මුලින් අධිකරණයට දැනුම් දුන්නේ ඔහු සතුව තිබූ සංයුක්ත තැටි තවුහිත් ජමාත් සංවිධානයට අයත් බවයි.නමුත් පසුව පොලිසිය අධිකරණයට දැනුම් දෙන්නේ අදාළ මාධ්‍යවේදියා සතුව තිබූ සංයුක්ත තැටි තවුහිත් ජමාත් සංවිධානයට අයත් නොවන බවයි.
එමෙන්ම පොලිසිය විසින් පෙර ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල කළ චෝදනා ඉල්ලා අස්කරගත්තේය.
නමුත් මේ වන විට ඔහු සමාජයට වැරදිකරුවකු කර අවසානය.පොලිසියත් මාධ්‍යයත් එක්ව ඔහු ත්‍රස්තවාදියකු කර අවසානය.මෙය ඉතාමත් ඛේදජනක අවස්ථාවකි.මෙහිදි පොලිසිය අදාළ සංයුක්ත තැටි හරිහැටි බලා තතු විමසා තිබෙන්නේ දින ගණනකට පසුවය.ඒ වන විට අදාළ මාධ්‍යවේදියා ලොවට ත්‍රස්තවාදියකු වී හමාරය.සමහර විමර්ශන කිරීමට දින කිහිපයක් ගත වන්නට පුළුවන.නමුත් මෙවන් අසාධාරණයක් සිදුවන අයුරින් ක්‍රියාකිරීම ඇත්ත වශයෙන්ම ලංකාවට අත්ව ඇති අසරණ ඉරණම පෙන්නුම් කරයි.

සාමාන්‍ය නීතිය යටතේ යම්කිසි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමටනම් සාධාරණ සැකයක් විය යුතු අතර එම සැකය හේතු දැක්විය හැකි ආකාරයේ සැකයක් විය යුතුය.යම් කිසි පුද්ගලයකු සන්තකයේ සංයුක්ත තැටි තිබූ පමණින් අදාළ සංයුක්ත තැටි නීති විරෝධී බවට නිගමනය කළ හැක්කේ කෙසේද යන්න දැන්වත් සිතා බැලිය යුතු දෙයකි.මෙහි වැදගත්ම කාරණය මාධ්‍යවේදියෙක් සතුව අන්තවාදීන්ගේ වැඩසටහන් පටිගත කළ දර්ශන තිබිය නොහැකිද?.

අදාළ දර්ශන අනාගතයේදී අවශ්‍ය වුවහොත් යන සිතුවිල්ල බොහෝ මාධ්‍යවේදීහු යම් යම් දර්ශන පටිගත කරගනිති.නමුත් මෙහිදී එවන් දර්ශන තිබේද නැත්ද යන්න පවා තහවුරු කර නොගෙන අත්අඩංගුවට ගෙන මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දී අදාළ පුද්ගලයාගේ චරිතය විනාශ කර ‘පාරේ බැහැල යාමට නොහැකි‘ තත්ත්වයක් ඇති කර ඇප ලබාදීම සාධාරණද?,ඔහු මිනිසුන්ට මුහුණ දෙන්නේ කෙසේද?,මේවා සිතන්නට තිබුණේ මෙවන් නොසැලිකිලිමත් ක්‍රියා කිරීමට පෙරය.

රෙකෝඩ් බාර් කරන මුස්ලිම් ව්‍යාපාරිකයන් කොතෙකුත් ලංකාවේ ඇත.මෙම තත්ත්වය දිගින් දිගටම ඇති වුවහොත් සිරි ලංකාවේ රෙකෝඩ් බාර් ව්‍යාපාරිකයන් බාගෙට බාගයක් හිරේය.

හදිසි නීතිය මුවාවෙන් සිදුකරන මෙවන් සිදුවීම්වලින් සිදුවන්නේ අහිංසක මුස්ලිම් වැසියන් තව තවත් අන්තවාදයට තල්ලු කිරීම පමණි.අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර හෝ මාධ්‍යයට ලබාදීමට පෙර අදාළ සංයුක්ත තැටි පරීක්ෂා කර සත්‍ය අනාවරණය කරගැනීමට අවස්ථාව තිබිණි.නමුත් පොලිසිය සහ මාධ්‍ය සිදු කළේ දිගින් දිගටම මුස්ලිම් ‘හමට‘ තැලීමය.

ජාතිවාදය කරපින්නාගෙන සිටින සිංහලයන්ටද මේවා රජ මගුල්ය.ඉතින් ඔවුහු ද මේ ‘හමට‘ හිතේ හැටියට තලති.සිදුවිය යුත්තේ මෙය නොවේ.මන්ද යම් මතු දිනෙක මේ මුස්ලිම් මාධ්‍යවේදියාට සිදුවූ අසාධාරණය සිංහලයාටද සිදුවිය හැකිය.රත්නපුර සිදුවීම එයට හොදම උදාරහණයයි.

අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට ලබාදිය යුතු උපරිම දඩුවම් ලබාදිය යුතුය.ඒ ගැන කිසිදු විරෝධයක් හෝ අකමැත්තක් නොමැත.නමුත් අසාධාරණ ලෙස සිදුකරන මේ ජීවිත විනාශය දැන්වත් නැවැත්විය යුතුය.රජය එයට නිසි පිළියමක් ඉදිරිපත් කළ යුතුය.සැක කටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් ත්‍රස්තවාදයට සම්බන්ධ බවට තහවුරු වන තෙක්ම ‘මාධ්‍ය අධිකරණ‘ වලට මේ තොරතුරු ලබා නොදිය යුතුය.මන්ද ‘සැකකරුවා‘ යන්න වචනයේ අරුථ නොදත් මේ ‘මාධ්‍ය අධිකරණ‘ සැකකරුවා ත්‍රස්තවාදියා ලෙස මිනිත්තු කිහිපයකින් තීරණය කර හමාරය.

මෙවන් සිදුවීම් අනන්තවත් ලංකාවේ සිදුවිය.සේයා දැරියගේ ඝාතනය එයට උදාහරණයකි.අහිංසකයන් කිහිප දෙනකුම මාධ්‍ය මගින් එම සිද්ධියේදී ‘මිනීමරුවන් ‘ බවට හංවඩු ගැසීය.එවාගේ විපාක එන්නේ පසුවටය.අදාළ සිද්ධියේ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගනු ලැබ ‘මාධ්‍ය අධිකරණය‘ මගින් මිනිමරුවන් බවට හංවඩු ගැසූ වරදක් නොකළ අහිංසකයන්ට අද අත්ව ඇති ඉරණම ඔබ සොයා බැලිය යුතුය.
මෙය දැන්වත් නැවැත්විය යුතුය.නැතිනම් වර්තමානයේ මෙවන් අසාධාරණකම් සිදු වෙන අහිසංකයන්ටද ඉදිරියේදී අත්වන්නේ එවන් ඉරණමකි.සමහරවිට එහි අවසන් ප්‍රතිඵලය අහිංසකයන් අන්තවාදයට තල්ලු වීම විය හැකිය.

නිකමට සිතා බලන්න.ඔබ සන්තකයේ සංයුක්ත තැටි කොතරම් නම් ඇතිද.යම් හෙයකින් ඔබත් මෙලෙස සංයුක්ත තැටි ළග තබාගැනීම නිසා අත්අඩංගුවට පත්ව මාධ්‍ය මගින් වරදකරුවකු වුවහොත් ඔබට ඇතිවන හැගීම කෙසේද?.ඔබ යළි ගමට ගොස් අසල්වැසියන්ට මුහුණ දෙන්නේ කෙසේද?.ඔබට යළි රැකියාවක් ලබාගැනීමට හැකි වේවියැයි සිතනවානම් එය ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වැනි වැඩකි.මෙවන් අසාධාරණ සිදුවීම්වලට මුහුණ දුන් බොහෝ පිරිසකට ඉන්පසුව රැකියා සොයාගැනීමට ඉතාමත් අපහසුව අන්ත අසරණ තත්ත්වයට පත් වෙති.නිකරුණේ යම් වරදකට අත්අඩංගුවට ගෙන රූපවාහිනියේ ඒ බව ඔබගේ ඡායාරූප සමග විකාශය වූ විට එය දන්නා කිසිවකු ඔබට රැකියාවක් ලබා දෙන්නේ නැත.මන්ද ඔබට පසුව නිදහස ලැබුණද,නීතියෙන් නිවැරදිකරු වූවද මාධ්‍ය මගින් නැවත ඔබ නිවැරදිකරුවෙක් නොවන නිසාය.

Make a Comment