RTI

රත්නපුර ඡායාරූප ගත්තැයි ඇල්ලූ තරුණයන්ගේ ඇත්ත කතාව

29. 05. 2019 | 11.31pm
Change සිංහල | தமிழ் | English
රත්නපුර ඡායාරූප ගත්තැයි ඇල්ලූ තරුණයන්ගේ ඇත්ත කතාව

රත්නපුර නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ තිදෙනකු අත්අඩංගුවට ගත්තේයැයි පසුගිය 20 වැනි දා රාවයක් පැතිර ගියේය. 20 වැනි දා දහවල් එක්තරා හිමිනකමක් රත්නපුරට රැස්වූ ජනතාව සහ මාධ්‍ය අමතමින් මෙසේ කීවේය.

 

''ඊයේ රාත්‍රී අටට පමණ අංගම්මන හංදියෙදි මුස්ලිම් තරුණයො දෙදෙනෙක් සහ රත්නපුර උසාවියේ මිනින්දෝරුවෙක් හැටියට සේවය කරන නන්දසේන කලුපහන නැහැති ජේවීපී එකෙන් ඡන්දෙ ඉල්ලපු කෙනෙක්ගේ පුතෙක් අත්අඩංගුවට ගත්තා සිංහල. ඒකට හේතුව තමයි මුස්ලිම් දෙන්නත් එක්ක මුළු රත්නපුර නගරයම වීඩියෝ කරලා තියෙනවා. ගමේ මිනිස්සු සහ තවත් ස්වාමීන් වහන්සේලා කීප නමක් එකතු වෙලා පොලිසියට භාර දීලා තියෙනවා.''

 

ප්‍රශ්නය - මොකෙන්ද වීඩියෝ කළේ

 

''වීඩියෝ කරලා තියෙන්නේ ඩ්‍රෝන කැමරාවක් සහ තව අධිබලැති කැමරාවක් තමයි භාවිත කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඒ ගෙවල් සර්ච් කළා. සිංහල පුද්ගලයාගේ ගෙදර කුරාණ පොත් දෙකක් තිබ්බා. ආමි කැප් එකක් තිබ්බා. නම්බර් ප්ලේට් නැති අධිබලැති සීබීආර් මෝටර්සයිකලයක් තිබ්බා. නම්බර් ප්ලේට් දෙකක් තිබ්බා. එකක් එස්ජී. අනික ඩබ්ලිව් පී. සිංහලයාගේ ෆේස්බුක් එකවුන්ට් එක චෙක් කළාම තවුහිද් ජමාත් සංවිධානයේ වීඩියෝඅයිඑස්අයිඑස් සංවිධානයේ නායකයන්ගේ ෆොටෝ ඒ වගේම ජේවීපී එකේ අය මුස්ලිම් අයත් එක්ක සම්බන්ධතා පවත්වපුවා මේ ඔක්කොම එළිවුණා. බෝම්බ ගහපු එකට මැප් හදපුවාරත්නපුරට විශාල වශයෙන් බලපෑමක් කරන්න තමයි එයාලා සංවිධානය වෙලා තියෙන්නේ. "


එම හිමියන් රත්නපුර නගරයේදී ප්‍රසිද්ධියේ බරපතල චෝදනා ගණනාවක් කළේය.ඒවා ප්‍රකාශයට පත් කෙරුණේ කිසිදු විමර්ශනයක් හෝ සිදුකර නොතිබූ අවස්ථාවකදී ය.කිසිදු වග විභාගයක් නැතිව ඒ හිමියන් කී කතා ජනමාධ්‍යද ප්‍රශ්නයක්වත් නොඅසාම අහගෙන සිටියේය.

 

තරුණයන් කළේ වෙසක් සැරසිලි ඡායාරූප ගැනීම පමණි. එක් තරුණයකු අත සාමාන්‍ය කැමරාවක් තබිණි. කැමරා යනු නීති විරෝධී උපකරණ නොවේ. මේ තරුණයන් අත "අධිබල කැමරා" තිබුණු බවට ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශය කිසිදු වග විභාගයක් නැකිව ජනමාධ්‍යද වාර්තා කළේය. ඒ "අධිබල කැමරා" යනු මොනවාදැයි සොයාබැලීමකින් පවා තොරවය. අත්අඩංගුවට ගත් තරුණයන් අතර සිංහල තරුණයෙක් ද සිටී. ඊළගට හිමිනම කියනුයේ සිංහල තරුණයාගේ නිවසේ තිබී කුරාණයක් සොයා ගත් බවයි. ජනමාධ්‍ය එයද වාර්තා කළේය. කුරාණය නීති විරෝධී පොතක් හෝ උපකරණයක් නොවේ. කුරාණය යනු ඉස්ලාම් බැතිමතුන්ගේ ඉගැන්වීම් ඇතුලත් පොතයි. හරියට කිකුනුවන්ගේ බයිබලය මෙනි. මේ කියන තරුණයාගේ පොත් මේසයේ බෞද්ධ පොත්පත් රැසක්ද, කිතුණු බයිබලයද තිබුණත් පොලිසිය කුරාණය අත්අඩංගුවට ගත්තේය.

 

අර හිමිනම කළ තවත් එක් චෝදනාවක් නම් සිංහල තරුණායාගේ ෆේස්බුක් පිටුවේ අයිඑස්කරුවන්ගේ ඡායාරූප පළ කර ඇති බවයි.අයිඑස්කරුවන්ගේ ඡායාරූපයක් පළ කිරීම වරදක් වන්නේ කෙසේදැයි දන්නේ ඒ හිමිනමම පමණි.කෙසේ වෙතත් සියලු දෙනාගේ දැනගැනීම පිණිස මෙම සිසුවා පළ කර ඇති අයිඑස් නායකයන්ගේ ඡායාරූප කතාව මේ කතාවේ අවසානයට පළ කරමු. සිසුවා ඡායාරූපය සමඟ සටහන් කර ඇති දේ කියවා ඇත්ත තේරුම් ගැනීමට සියලු දෙනාට හැකියාව ඇත.එසේ අයිඑස් නායකයන්ගේ ඡායාරූපයක් පළ කිරීම වරදක්නම් අද මේ ශ්‍රී ලංකාවේ සිටින සිංහලයන් බොහෝ දෙනකු හිරේය.

 

මේ කියන සිංහල තරුණයා නමින් අනුෂ්ක දිල්හාරය. ඔහු සබරගමු සරසවියේ උපාධි අපේක්ෂකයෙකි.ඔහු සමාජය දෙස වෙනත් මානයකින් බලන සමාජ ක්‍රියාකාරිකයෙකි.


අත්අඩංගුවට ගත් තවත් තරුණයෙකුගේ විනෝදාංශය පාරිසරික ඡායාරූප කරණය සහ වීඩියෝකරණයයි. ඔහු තරුණ 'යූටියුබර්' කෙනෙකි. ඔහුගේ යූටියුබ් චැනලයට පහත දිගුවෙන් යා හැකිය.

https://www.youtube.com/user/Fawzan666/videos.


ඔහු ළඟ කැමරාවක් තිබීම වරදක්ද? ඔහුගේ ඡායාරූපයක් සහ ඔහු විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයක් කතාව අවසානයේ දැක්වෙයි.

 

මෙම තරුණයින් තිදෙනා 19 වැනි දා රත්නපුර අංගම්මන පල්ලෙකන්ද රක්‍ෂිත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණේ ඔවුන් ඡායාරූප ගත් බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මතය. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ තරුණයන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබා ගත්තේය. පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණයට අදාල අංශවලින් එම තරුණයන්ගේ ජංගම දුරකථන දත්ත ලබාගැනීමටද අවසර ලබාගත්තේය. පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 7වැනි වගන්තිය අනුව රිමාන්ඩ් බාරයට පත් කළේය.


මෙම අත්අඩංගුවට ගැනීම් ගැන අනුෂ්ක නම් සිංහල තරුණයාගේ පියා කියන කතාව මෙසේය. ඔහු නමින් නන්දසේන කළුපහනය.බලය ලත් මිනින්දෝරුවරයෙකි.

 

''ගරුතර ස්වාමීන් වහන්සේ ඔරලෝසු කනුව ගාව වටේ ඉන්න මිනිස්සුන්ගෙන් එන එන අදහස අනුව ප්‍රකාශ කළේ. අපේ දරුවට ඒක විශාල හානියක් වුණා.

මනුස්සයෙක් මට කතා කරලා ඇහුවා පුතාගේ නම මොකක්ද කියලා. මං කිව්වා පුතා අනුෂ්ක. ෆවුසාන් කියන්නේ කවුද ඇහුවා. මං කිව්වා අපේ ගේ ගාව ළමයෙක්. ඒ පාර මං ඇහුවා ඇයි අහන්නේ කියලා. මහත්තයාගේ පුතා තව ළමයි දෙන්නෙක් එක්ක ඇවිත් ඈත නගරේ පටිගත කරනවා කිව්වා. කොහෙන්ද කතා කරන්නේ ඇහුවම කිව්වා අංගම්මන කන්දේ ඉඳන් කතා කරන්නේ කියලා. එතකොට තමයි මට මතක් වුණේ මොකක්ද මේ කතාව කියලා. මට මතක් වුණා මීට මාස තුනකට විතර කලින් ඔය ඉඩම් මනින්න ගිය දවස. එදා වැඩ ඉවර වෙලා රෑ එද්දි එතන ලස්සනට නගරෙ පෙනුනා. එවෙලෙ ළමයා කිව්වා කවදා හරි ඇවිල්ලා ලස්සන ෆොටෝ එකක් ගන්න ඕනා කියලා. එතකොට ඒක කරන්න තමයි 19 වෙනිදා ගිහින් තියෙන්නේ. ඒ යනකොට සිංහල ළමයකුට කතා කළා. සැරසිලි වැඩ නිසා මගහැරලා තව දෙන්නකුට කතා කරලා ඒ දෙන්නා ආවා. පස්සේ තමයි එකට ඉස්කෝලේ ගිය ඔය මුස්ලිම් ළමයි දෙන්නා එක්කරගෙන ගියේ. එයාලා රූප ගතකරකර ඉන්නකොට ගමේ මිනිස්සු ඇවිත් නවත්වන්න කියලා තියෙනවා. මෙයාලා කරුණු පැහැදිලි කළාම කමක්නෑ කියලා තියෙද්දි පිටස්තර පුද්ගලයො ටිකක් මෙතනට කඩා පැනලා මේගොල්ලො අල්ලලා ගෙනල්ලා පොලිසියට බාර දීලා. දවස් තුනක රැඳවුම් නියෝග මත තියා ගන්න පොලිසිය ඕඩයරක් ගත්තා විනිශ්චකාර තුමියගෙන්. ඊට පස්සේ හදිස්සියෙම කිව්වා මේගොල්ලො අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනා කියලා. ඒ අනුව ඒ කටයුතු කළා. මේගොල්ලො ඇත්තටම අබමල් රේණුවකින්වත් කිසිම චේතනාවක්  තිබුණේ නෑ මෙවැනි දෙයක් ගැන. අපේ ළමයාගේ උවමනාවට තමයි ඒ මුස්ලිම් ළමයි දෙන්නා ගිහින් තියෙන්නේ. මම දැනගත්තා නම් මුස්ලිම් ළමයි දෙන්නා එක්ක යන්නේ කියලාමම කියනවා යන්න එපා මේ කාලේ හොඳ නෑ කියලා. අර ඡායාරූප ගැනීමේ ආසාව විතරයි තිබ්බේඉතින් ඒ ගැන විතරයි කල්පනා කළේ. එයා අවිහිංසාවාදී පුද්ගලයෙක්. පොඩි උදාහරණයක් කියන්නම්. දවසක් පොඩි මී පැටියෙක් අපේ ගෙදර සිවිලිමෙන් වැටිලා තුවාල වෙලා හිටියා. මෙයා පෙට්ටියකට පුළුන් දාලා සතියවක් තිස්සේ කිරි පොව පොවා හැදුවා. 


පොලිසියෙන් ගේ පරීක්ෂා කරන්න ආපු වෙලාවේ ළමයාගේ තිබුණා බෞද්ධ දර්ශනය ගැන පොත් 10ක් විතර. තව තිබුණා බයිබලය. ඊළඟට තිබ්බා කුරාණය. පොලිසියෙන් ඇවිත් අච්චර ටිකක් තියෙද්දි ගෙනිච්චේ කුරාණ පොත විතරයි. පහුගිය කළබලවලින් පස්සේ අපේ ගොඩිගමුව කියන ගමේ මුස්ලිම් ගෙවල්ටික පරීක්ෂා කළා ආයුධ තියනවද බලන්න. ඒ වෙලාවේ ඔය ඩ්‍රෝන් කැමරා එක තිබිලා පොලිසිය භාරයට ගත්තා. ඒ පහුගිය 29 වෙනිදා. දැන් චෝදනා කලා ඒ කැමරාවකින් තමයි ෆොටෝ අරං තියෙන්නේ කියලා. කරුවලේ ඡායාරූප ගත්තම ලයිට් ටික විතරයි පේන්නේ. මේ ඡායාරූප ගත්තට මොනවත් කරන්න බෑ. ගූගල් ජීපීඑස් තියෙද්දි මෙහෙම ඡායාරූප ගන්නේ මොකටද ඔය කියනවා වගේ වැඩකට. අහිංසක ළමයෙක් අමාරුවේ දාලා මදිවට තව තව අමාරුවේ දාන්න තව තව ඒවා හදනවා. අපි ගේ සර්ච් කරන්න දුන්නා. මුකුත් තිබ්බේ නෑ. පාරේ ඉන්න කෙනෙක් කියලා තිබ්බා මුකුත් නැත්නම් කඩුටිකක් හරි ගෙනත් දාමු කියලා. ඇයි අහිංසක ළමයි තවත් දරුණු ත්‍රස්තවාදියෙක් කරන්න තියෙන උත්සාහය මොකක්ද.

 

එයාගේ මෝටර් සයිකලේ 250 සීසී ධාරිතාවය තියෙන මෝටර් සයිකලයක්. එයා ඒක අලුතෙන්ම පේන්ට් කරලා නම්බර් ප්ලේට් එක හයිකරලා තිබුණේ නෑ. ඒකේ ඉස්සෙල්ලා වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ අංකයක් තිබුණේ. දැන් තියෙන්නේ සබරගමුවේ අංකයක්. ව්‍යාජ අංක තහඩු කියලයි ගරුතර ස්වාමීන්වහන්සේ මහජනතාවට කියලා තියෙන්නේ. මේක ව්‍යාජ නෙමෙයි. එකම එක අංකේපළාත් දෙක වෙනස් වුණ නිසයි අකුරු දෙක වෙනස් වෙලා තියෙන්නේ. මේවගේ වැරදි චිත්‍රයක් මවාපාලා මිනිස්සු නොමග යවලා තියෙන්නේ. එයාගේ ජීවිතේ පවා විශ්වාස කරන්න බැරි තැනට වැටිලා. එදා උද්ඝෝෂණය වෙලාවෙ ඒ හාමුදුරුවො ඉල්ලලා තිබ්බා ළමයව විනාඩි 10කට එලියට දෙන්න කියලා. වෙන මොකටවත් නෙමෙයි ඉල්ලුවේ මරන්න. ඔය 500ක් විතර එකතු වෙලා ගැහුවොත් ඉතිරුවෙයිද ඒ අහිංසක ළමයව. "


අත්අඩංගුවට ගත් තරුණයා අනුෂ්ක දිල්හාර මැයි පළමු වැනිදා ලියන ලද ලිපියක් පහත දැක්වේ.

 

''ISIS ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයේ බිහිවීම හා පැවැත්ම. 
--------------------------------------

ලොව පැවතී සීතල යුද්ධය හෙවත් ධනේශ්වර හා සමාජවාදී කඳවුරු අතර තිබු සටන මගින් ඉස්ලාම්ය අන්තවාදීන් නිර්මාණය විය. ඒ වමේ ව්‍යාපාරය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහය. එම අන්තවාදී සංවිධාන සඳහා නායකත්වය දුන් පුද්ගලයින් හැඳින්වුයේ “කොමියුනිස්ට් විරෝධී වීරයන් ලෙසය.”


සමාජවාදී ව්‍යාප්තියට එරෙහි වීමට ප්‍රධාන හේතු කිහිපයක් විය. ඒ 1978 දී ඇෆ්ගනිස්ථානයේ බිහි වූ සමාජවාදී පාලනය සමඟ ඇති වූ සමාජ විප්ලයව සමඟය.

උදාහරණ ලෙස
1) 
අධ්‍යාපනය ස්ථාපිත කිරීමත් සමඟ ආගමික මුලධර්ම ඉගැන්වීම් සඳහා තර්ජනයක් වීම.
2) 
කාන්තාර තුලට සිමා වූ ජිවිත ලෝකය සමඟ ගනුදෙනු කිරීමට පෙළඹීම.
3) 
ඇෆ්ගනිස්ථානය තුල වමේ පාලනයක් බිහිකිරීමත් සමඟ කාන්තාවන් රැකියා සඳහා යොමු වීම. 
4) 
තෙල් සම්පත පිලිබදව අවබෝදයක් ඇතිවීම
5) 
කාන්තාවන්ට සම වරප්‍රසාද හිමි වීම


ඇමෙරිකාවට ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමට අවශ්‍ය විනි. මේ හේතුවෙන් ඇමෙරිකාව විසින් අන්තවාදී සංවිධාන නිර්මාණය කරනායකත්වය දුන් පුද්ගලයින් කොමියුනිස්ට් විරෝධී වීරයන් ලෙස හැඳින් විය. එයත් සමඟ ඇෆ්ගනිස්ථානයේ විසු කොමියුනිස්ට්වාදීන් බහුතරය ඝාතයට ලක් විය.මෙසේ බිහි වූ අන්තවාදී හා මුලධර්මවාදී සංවිධාන අතුරින් ISIS ආරම්භ වන්නේ අල් කයිඩා ත්‍රස්ත කල්ලියෙන් ය. එය නිර්මාණය කරේ අබු මුසාබ් අල් සර්කාවි. ඔහුවට අවශ්‍ය වුයේ සුන්නි ෂියා මුස්ලිම් වරුන් අතර ගැටුමක් ඇති කිරීමටයි.


ඇෆ්ගනිස්ථානය තුල 1978 ස්ථාපිත කෙරුණු වමේ බලයත් ඒ හරහා ගොඩ නැගුනු සමාජ වටපිටවත් සමඟ ඇමරිකාව භීතියට පත් විය. එය කඩා බිඳ දැමීම සඳහා ඉස්ලාමිය මුලධර්මවාදී මුජහිදීන් විසින් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් නිර්මාණය කරනවා. ඇමෙරිකාවේ CIA සංවිධානය විසින් මෙම අන්තවාදී සංවිධානයට අවශ්‍ය සම්පත් ලබා දෙනවා. මෙය හැදින්වෙන්නේ PROJECT CYCLONE ලෙසය. ( PROJECT CYCLONE ආකෘතිය පසුව බොහෝ රටවලට ඇතුළුවීමට ඇමෙරිකානුවන් ශුක්ෂමව යොදාගත්තේය. එනම් රට තුලම සිටින ජන කොටස් අතර යුද්ධ ඇතිකිරීම පදනම් කරගෙනය. එකිනෙක කෙටවීම සඳහාය. ශ්‍රී ලංකාවටද යොදාගත්තේ එම ආකෘතියමය.) මෙම වැඩපිළිවෙල මගින් මුජහිදීන් ත්‍රස්ත සංවිධානයට 1979 කාලයේදී සංවිධාන සඳහා ඇ.ඩො 500,000ක් පමණ යෙදවූ අතර 1987 වෙද්දී එම මුදල අවුරුද්දකට ඇ.ඩො මිලියන 630ක මුදලක් ලබා දෙනවා.

මෙම මුජහිදීන් සංවිධානෙන් ඔසාමා බින් ලාඩන් හා මුසබ් අල් සර්කවී යන අය බිහි වෙනවා. මොවුන් ඉස්ලාමිය මුලධර්මවාදීන් වූ හෙයින් කොමුනිස්ට්වාදයට විරුද්ධ විය.


1990 සෝවියට් හමුදා සහය ඇෆ්ගනිස්ථානයෙන් ගියායින් පසුව ඔසාමා බින් ලාඩන් අල්-කයිඩා ත්‍රස්ත සංවිධානය නිර්මාණය කරගන්නවා. සර්කවී මෙවැනි සංවිධානයක් නිර්මාණය කලද එය සාර්ථක වුයේ නැත.2001 දී අල්-කයිඩා සංවිධානය විසින් ඇමෙරිකාවේ ආරක්ෂක මුලස්ථානය වූ පෙන්ටගනයටත්ලෝක වෙළඳ මධ්‍යස්ථානයටත් ප්‍රහාර එල්ල කරනවා. මෙම ප්‍රහාර ඇමරිකාව විසින් ම නිර්මාණය කර බවට බොහෝ පිරිස් විශ්වාස කරනවා. මෙවැනි ප්‍රහාර(තමන්ම තමාට ප්‍රහාර එල්ල කරගැනීම) INSIDE JOB ලෙස හැදින්වෙනවා. මෙම ප්‍රහාරයත් සමඟ ඇමරිකාවට ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට පාර කපාගන්නවා. මෙයත් සමග බින් ලාඩන් පකිස්ථානයට පලා යන අතර සර්කාවී ඉරානයට පලා යනවා. බින් ලාඩන් ව පසුව ඝාතනයට ලක් වෙනවා.


එත් සමඟම 2003 වසරේදී ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කරනවා. මෙයට හේතු වශයෙන් ඇමරිකාව දක්වන්නේ ඉරාකය සතුව බොහෝ ආයුධ තිබෙන බවය. මෙම ආයුධ වලින් ඉරක වැසියන් බේරාගන්නා ගැලවුම් හමුදාවක් ලෙස ඉරාකය තුල ස්ථාපිත කරනවා. කිසිදු ප්‍රබල අවියක් නොමැති බවට CIA සංවිධානය ඇමරිකවයට දන්වා තිබෙනවා. නමුත් විවිද හේතු දක්වා දිගින් දිගටම රට ගිනිබත් කරමින් ඉරාක පාලක සදාම් හුසේන් ව ඝාතනය කරනවා.  මෙයින් පසුව ඉරක හමුදාව දෙකට බෙදෙනවා. ඒ ශුන්නි ෂියා ලෙසය. ඔවුන් ඇමරිකාවට එරෙහිව සටන් කර යුතු බවට තීරණය කරනවා. මෙම සංවිධාන සඳහා මැද පෙරදිග තරුණයන් එකතු වුවද සිදු වුයේ ඔවුනොවුන් අතර යුද්ධයක් නිර්මාණය වීමය. 

ශුන්නි නායකයෙකු වූ සර්කාවී මුලින්ම පහරදෙන්නේ ෂියා කල්ලියටය. මෙම කාලය තුල අල්-කයිඩා සංවිධානය සර්කවී සමඟ එකතු වී Al – Qaeda in Iraq නමින් ඉදිරියට පැමිණෙනවා.


2006 වසරේදී සර්කාවි ඝතනයට ලක් වෙනවා. 2011 වසරේදී ඇමෙරිකාව ඉරාකයෙන් ඉවත් වෙනවා. ඒ එරට සියලු සම්පත් ඔවුන් සතු කරගැනීමෙන් අනතුරුවය. සෝවියට්වරුන් විසින් ගොඩනැගු සියල්ල විනාශ කළේය. 2011 වසරේ බිෂර් අල් අසාඩ් සිරියාවෙ ජනපති බවට පත්වී ඔහුගේ විරුධ්දවාදීන් ව මර්ධනය කරනවා. ජනතාවද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කරනවා. ප්‍රතිප්‍රහාරකරුවන් අන්තවාදීන් ලෙස හංවඩු ගැසුවා.


අල්කයිඩා ත්‍රස්තයන් ISI – Islamic State of Iraq (ඉරක ඉස්ලාමිය ජනපදය) ලෙස සංවිධානය වෙනවා. මෙත් සමග එවකට අල්කයිඩා නායක වූ අබු බකර් 2012 වසරේදී ඔහුගේ සාමාජිකයෙකු වූ ජබඩ් අල් නුශ්‍රා ව සිරියාවට යවන්නේ ISI ත්‍රස්ත සංවිධානය පුළුල් කිරීමේ අරමුණින් ය. ISI ත්‍රස්තවාදීන් සිරියාවේ තිබු සිර ගෙවල් වලට පහර දී අන්තවාදීන් ව නිදහස් කරගත්තා. මෙයත් සමග ISI ISIS – Islamic State ot Iraq and Syria ( ඉරාක සිරියා ඉස්ලාමිය ජනපදය) ලෙස සංවිධානය පුළුල් කරගන්නවා. 2014 වසරේ ජුනි මස ISIS සංවිධානය ඉරාකය ආක්‍රමණය කරනවා. ඒ අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කරමින් ය. ඉරාකයෙන් 1/3ක් පමණත් සිරියාවේ ප්‍රදේශ වලත් බලය ඔවුන් පිහිටුවනවා.


ISIS ත්‍රස්තයන් කුර්ධි සංවිධානය බලය හොබවන ඉරාකයේ උතුරු ප්‍රදේශ වලට ප්‍රහාර එල්ල කර ඔවුන් සමඟ යුද්ධයක් ආරම්භ කරනවා. මෙවැනි අමානුෂික යුද්ධ නිසා මිනිසුන් ලක්ෂ ගණනක් ඝාතනයට ලක් වෙනවා. මෙම කාලය තුල ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු වූ ජේම්ස් ඔලිවර් ව ඝාතනය කරනවා. මෙයට පිළිතුරක් ලෙස ඇමරිකාව ගුවනින් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ISIS විසින් කුවේට්ෆ්රන්සය සහා මදිනා යන ප්‍රදේශ වලට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනවා.

ඇමෙරිකාවට අවශ්‍ය දේ සිදු කරගනිමින් රටවල් බොහොමයක තිබු සම්පත් ඔවුන් සතු කරගනිමින් රටවල් ලේ විල් කරගනිමින් ISIS ත්‍රස්තවාදය පෝෂණය කරමින් පවතිනවා. 
ISIS 
ත්‍රස්ත ව්‍යාපාරය පෝෂණය කරන්නේ ඇමරිකාවත්ෆ්රන්සයත්එක්සත් රාජධානියත් බවට ශාක්ෂි ඇත. මේ සියලු දේ සිදු කරන්නේ ලෝක මුස්ලිම් ජනයා එකම ත්‍රස්ත කල්ලියක් ලෙසට පත් කර මුස්ලිම් හා වෙනත් ජාතින් අතර ගැටුම් ඇති කර මැද පෙරදිග ඇති කනිජ සම්පත් ලබා ගැනීමට බව එඩ්වර්ඩ් ස්නොර්ඩන් මහතා සාක්ෂි සමඟ ඔප්පු කරනවා.


එඩ්වර්ඩ් යනු ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු ලෝකයට මුදාහැරපු පුද්ගලයායමා මෙම ලිපියට අදාළ තොරතුරු ලබා ගන්නේද ඔහුගේ විස්තර පරිශීලනය කිරීමෙනි. එඩ්වර්ඩ් මහතා ISIS නායක වන අබු බකර් අල් භාගාඩි පිළිබඳව බොහෝ කරුණු හෙළි කරනවා. ඔහු ඇමෙරිකානු ඉත්තෙක් වන බවත් ඔහුට අධිරාජ්‍යවාදීන්ගෙන් සහය ලැබෙන බවත් රටවල් තුලට රිංගීම සඳහා මොහු මගින් මෝඩ මිනිසුන් උසි ගන්වන බවට පැහැදිලි කරනවා. දේශපලන සංවිධාන වලටවෙනත් සවිධාන වලට මෙම ත්‍රස්තයින් ව ශුක්ෂමව රිංගවනවා. වමේ පක්ෂ මර්ධනය කිරීමට අවශ්‍ය දෑ පාලකයන් අතින්ම සිදු කරගන්නවා. ඇමරිකන් ගැති පුද්ගලන් දේශප්‍රේමින් ලෙස නම් කරනවා. ලංකාවටද වර්තමානයේ සිදු වන්නේ PROJECT CYCLONE ව්‍යාපෘතියමය.

මෙය බැරෑරුම්ව තේරුම් ගත යුතු වන අතර හැඟීම් මතින් තීරණ නොගත යුතුය.

මෙම ලිපියට අදාළ පුද්ගලයින්ගේ හා වකවානුවේ ජායාරුප පහත ඇත.

අනුෂ්ක දිල්හාර - 01-05-2019

 '' 



පහතින් ඇත්තේ මේ සිංහල තරුණයා අත්අඩංගුවට ලක්වීමට දිනකට පෙර ඔහුගේ ෆේස්බුක් පිටුවේ දැමූ ඡායාරූපයකි.

 


 

අත්අඩංගුවට ගත් තවත් එක් මුස්ලිම් තරුණයකු වූ ෆවුෂාන් දැමූ ෆෙස්බුක් පණිවඩුයක්.




මේ ඡායාරූපයේ ඇත්තේ ඔහු ගත් ඡායාරූප කිහිපයක් සහ ඔහුගේ ඡායරූපයකි.
 



 



අනුෂ්ක දිල්හාර-





Author - Staff writer
Staff writer
Make a Comment