RTI

මැයි 13ට පාර කැපූ ජනමාධ්‍ය

27. 05. 2019 | 1.15am
Change Language
 මැයි 13ට පාර කැපූ ජනමාධ්‍ය


පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවී මාසයක් ඉක්ම යන අවස්ථාවක ‘රටේ වගකිව යුතු ආයතනවල හැසිරීම‘ කතා කළ යුතුම මාතෘකාවක් බවට පත්ව තිබේ.


රජයේ ආයතන දැනුම්වත්ව සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව පැටවෙන්නේ නිතැතින්මය. මෙතරම් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය වළක්වාගැනීමට ආණ්ඩුව කිසිදු උත්සහයක් නොගත් බව දැන් ලංකාවම දන්නා රහසකි. ප්‍රහාරය සහ බුද්ධි තොරතුරු ගැන මීට පෙර  බොහෝ ලිපි ලියැවිණි.


නමුත් ප්‍රහාරයෙන් පසු ලංකාවේ මාධ්‍යවල හැසිරීම ගැන කිසිවෙක් කතා කළේ නැත. රටක සිව්වැනි ආණ්ඩුව ලෙස සලකන මාධ්‍යවලට මෙවන් සිදුවිම්වලදී කළ හැකි කාර්යභාරය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. ගින්නක් ඇති කිරීමටත් ගින්නක් නැති කිරීමටත් මාධ්‍යයකට හැකිය. පාස්කු ප්‍රහාරයෙන් පසු ගින්න නිවීමට කටයුතු කළ මාධ්‍ය ඇත්නම් ඒ අතලොස්සකි.


සහරාන්ගේ ත්‍රස්තවාදයට එරෙහිව මුස්ලිම් සමාජය කෙරෙන් ආ විරෝධය මෙරට මාධ්‍ය මහජනතාවට පෙන්වූයේ නැත. 2014 සිට මුස්ලිම් සමාජයෙන් මෙම ත්‍රස්තවාදයට එරෙහිව ආ විරෝධය සහ පැමිණිලි සම්බන්ධයෙන් මාධ්‍ය මහජනතාවට පෙන්විය යුතුව තිබිණි. රජය හෝ ඒ ගැන මාධ්‍යයට ප්‍රකාශ කළ යුතුව තිබිණි. නමුත් මුස්ලිම් සමාජයෙන් සහරාන්ගේ ත්‍රස්තවාදයට එරෙහිව පැන නැගුණු විරෝධය මාධ්‍ය මගින් හෝ රජය මගින් මහජනතාව අතරට ගෙන ගියේ නැත.


2014 වසරේ සිට 2019 මාර්තු දක්වා කාලය තුළ මුස්ලිම් සමාජයෙන් සහරාන්ගේ අන්තවාදී ක්‍රියා ගැන රජයට සහ ආරක්ෂක අංශවලට පැමිණිලි කර තිබිණි. මාවනැල්ලේ දී අන්තවාදීන් පිරිසක් බුදුපිළිම කැඩූ සිද්ධියෙන් අනතුරුව පවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන් එම් අමීන් මහතා ප්‍රමුඛ පිරිසක් සහරාන්ගේ අන්තවාදය ගැන තොරතුරු ආරක්ෂක අංශවලට දැනුම් දී තිබිණි.


මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව බොහෝ වැටලීම් සිදු කළේ මුස්ලිම් සමාජයෙන්ම ලැබුණු තොරතුරු මතය. නමුත් වැදගත් යැයි සැලකෙන මාධ්‍ය ආයතන ඒවා කියන්නට ගියේ නැත. ඒ වෙනුවට ප්‍රචාරය කළේ “පල්ලියක් අසලින් කඩු හමුවෙයි“‍්, “මුස්ලිම් නිවසක් අසලින් උණ්ඩ හමුවෙයි“   වැනි පුවත්ය. සමහර ආයුධ හමුවූ ස්ථාන අසල ඇති මුස්ලිම් පල්ලියක් නැත. මුස්ලිම් නමුත් මාධ්‍ය ප්‍රචාරය කළ හැම පුවතකටම උදෘත යෙදුවේ “මුස්ලිම් පල්ලියක් අසල....“ කියාය.


විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය කිහිපයක් කළ නොමනා වැඩක් ගැන සදහන් කළ යුතුමය. පවතින තත්ත්වය ගැන මුස්ලිම් පාර්ශ්වය වෙනුවෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමට මුස්ලිම් ජනතා සංවිධාන කිහිපයක් කටයුතු කළේය. එහිදී මුස්ලිම් මාධ්‍ය සංවිධානයේ සභාපති මෙන්ම මුස්ලිම් කවුන්සිලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම් අමීන් මහතා විසින් කරන ලද ප්‍රකාශයක් ඉතාමත් පහත් මාධ්‍යකරණයක යෙදෙමින් සංස්කරණය කර විකාශනය කළේ මෙරට අංක එක යැයි කියාගන්නා රූපවාහිනි මාධ්‍ය ආයතන කිහිපයකි. මෙය ශ්‍රී ලංකාවට අත්ව ඇති තවත් එක් දුක්ඛිත තත්ත්වයකි. එම මාධ්‍ය සාකච්ඡාවේදී අමීන් මහතා පවසන්නේ  කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා   කඩු තබාගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පොලිස්පතිට පැවසූ බවයි.  නමුත් අංක එකේ රූපවාහිනි මාධ්‍ය එය සංස්කරණය කර විකාශ කරන්නේ  කාන්තාවන්ගේ ආරක්ෂාවට කඩු තබා ගන්නා බව අමීන් මහතා ප්‍රකාශ කළ බව පෙනන පරිදිය.  මින් ඔවුන් බලාපොරොත්තු වන්නේ සිංහල වැසියන් මුස්ලිම් සමාජය කෙරෙහි වෛරයෙන් බලන තැනට පත් කිරීම වන්නට ඇත. වැදගත්ම දෙය මේ මාධ්‍ය අවභාවිතය නිවැරදි කරන්නේ පුංචි දේටත් තහනම් කෙරෙන ෆේස්බුක් හරහාය. ෆේස්බුක් නොවන්නට මෙය කිසිදා නිවැරදි නොවනු ඇත.


අමීන් මහතාගේ ප්‍රකාශයෙන් කොටසක් පහත දැක්වේ.


 “පසුගිය කාලසීමාව තුළ යම් යම් සිදුවීම් සිදුවුණා. මේ රටේ පල්ලි 1000කට වැඩිය සෝදිසි මෙහෙයුම් කරපු අවස්ථාවේ ස්ථාන කිහිපයක කඩු තිබුණා. දෙක තුනක. ඒවා පිළිබද පරීක්ෂණ සිදුකරනවා.අදාළ අයට දඩුවම් ලබා දෙන්න කියලා මුස්ලිම් ජනතාවම කියා තිබෙනවා. ජනාධිපතිතුමා කියලා තියෙනවා සෑම ගෙදරකම කඩු තියෙනවා , ඒක සිරිතක් ගැහැණු ළමයින්ගේ ආරක්ෂාවට ආත්මාරක්ෂාවට හැම ගේකම කඩු තියෙනවා කියලා ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට ප්‍රකාශ කරලා තියෙනවා. අත්අඩංගුවට ගැනීම සාධාරණ නැහැ කියලා.


අපේ ආගමික නායකත්වයේ උපදෙස් පිට මේ ඝාතනය වූ පහලොස් දෙනාගෙන්  දරුවන් හැර අනික් සියලු දෙනාම අපි අපේ මුස්ලිම් දේවස්ථාන වල අපි භූමිදාන කළේ නෑ. ඒක අපේ තරුණයන්ට පාඩමක්. ඔබලා මෙවැනි සංවිධාන සම්බන්ධ වුණා නම් ඔබේ මරණය පවා ඔබව භූමිදානය කිරීමට අපේ පල්ලිවල ඉඩ නෑ කියන පණිවුඩය අපි ලබාදීලා තියෙනවා. මුස්ලිම්වරු හැටියට අපි මේවා අනුමත කරන්නේ නෑ.ඉදිරියේදීත් මේවා අනුමත කරන්නේ නෑ.ඒ නිසා මේ පණිවිඩය මේ රටේ ජනතාවට ලබා දෙන්න.අද අපේ රට ඉතාමත් අවසනාවන්ත තත්ත්වයට පත්වී තිබෙනවා.එනිසා ඔබ ඒ පණිවිඩය ලබා දෙන්න මාධ්‍ය පාවිච්චි කරන්න. සාධාරණවත්වය වෙනුවෙන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්.“


මෙම ප්‍රකාශය ඇත්තෙන්ම මුස්ලිම් ජනතාවගේ පාර්ශ්වයෙන් අන්තවාදයට සහ ත්‍රස්තවාදයට ඇති යම් විරෝධයක් පෙන්නුම් කරයි. නමුත් අදාළ මාධ්‍ය ආයතන කරන්නේ මෙය උඩුයටිකුරු කර වෙනත් අර්ථයක් මහජනතාව වෙත ගෙනහැර දැක්වීමයි.මින් සිදුවූයේ දැඩි ‘අමීන් විරෝධයක්“ සහ මුස්ලිම් විරෝධයක් ක්ෂණයෙන් පැතිරයාමයි. අදාළ ප්‍රකාශයේ සංස්කරණය නොකළ වීඩියෝව සමාජ මාධ්‍ය ජාලවවලට මුදාහැරිම නිසා යම් වශයෙන් එම විරෝධය පාලනය වීමක් දක්නට ලැබිණි. සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීමේ ඇති එක් අවාසියක් වශයෙන් මෙය පෙන්වා දිය හැකියි. ප්‍රධාන පෙලේ මාධ්‍ය සිදු කරන මෙවන් අසත්‍ය ප්‍රචාර ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා නිවැරදී කිරීමේ හැකියාව පවතී. රජය පසුගිය දිනවල කරන ලද වාරණය මගින් සිදුවූයේ බොරුව තිත තැබීමකට වඩා ඇත්තට තිත තැබීමකි.


මාළිගාවත්ත කඩු සිද්ධියෙන් අනතුරුව මෙහෙයුම්වලින් හමුවෙන ආයුධ මාධ්‍යවලින් නොපෙන්වන්නැයි රජය උපදෙස් දීමත් සමග සිදුවූයේ ද තව තවත් සැකය උත්සන්න වීමයි. රජය කුමක් හෝ වසන් කිරීමට උත්සහ ගන්නා බවට ජනතාව අතර රාවයක් පැතිර ගියේ මේ සමගය. රජය කළ යුතුව තිබුණේ ඒවා නොපෙන්වන ලෙස දැනුම් දීම නොව හමුදාපතිවරයා පැවසූ පරිදි ‘මාධ්‍ය සංදර්ශන‘ නොපවත්වන ලෙස දැනුම් දීමයි.


මාධ්‍ය සිදු කළ යුතුව තිබුණේ බිය සහ සැකය වැඩි වන පරිදි එක දෙක කර අදාළ සේයාරූ විකාශය කිරීම නොව ජනතාවට තොරතුරු දැනගැනීමට අවශ්‍ය සීමාව දක්වා පමණක් විකාශය කිරීමය.හමුදාපතිවරයා කියූ පරිදි හිස් උණ්ඩ කොපුවක් පාරක වැටී තිබුණද මාධ්‍ය මගින් ඒවා ඉතා විශාල විනාශයක් කළ හැකි දෑ වශයෙන් ලොකු කර පෙන්වීය. මින් මිලිටරි දැනුමක් නැති සාමාන්‍ය වැසියන්ගේ බිය දෙගුණ තෙගුණ විය.


ඇත්ත වශයෙන්ම රටක මාධ්‍ය ආයතන කටයුතු කළ යුත්තේ දැඩි වගකීමකින් යුතුවය. සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන සුළු වචනයකින් පවා මුළු රටක් ගිනි තැබිය හැකි බවට හොදම උදාහරණය හලාවත සිද්ධියයි. මාධ්‍ය ආයතන කළ යුත්තේ ගිනි නිවීම මිස ගිනි ඇති කිරීම නොවන බවට තේරුම් ගන්නා තෙක් අපේ රට තව තවත් ගිනි ඇවිලෙමින් තිබෙණු ඇත.


රටේ නීතිය අනුව යම් අයෙක් වරදකරු බවට අධිකරණයෙන් තීන්දු කරන තුරු සැකකරුවකු පමණි. සාමාන්‍ය මාධ්‍ය සදාචාරය (ethics) අනුව සැකකරුවකු අත්අඩංගුවට ගත් පමණින් ඔවුන්ගේ නම් ගම් අනාවරණය කරන්නේ නැත.නම් ගම් සදහන් කරනුයේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.නමුත් මෙම සිද්ධීයේදී මාධ්‍ය වාර්තා කළ ආකාරය මින් හාත්පසින්ම වෙනස්ය.සැකකරුවකු අත්අඩංගුවට ගත් විගසම ඔවුන්ගේ සියලු විස්තර අනාවරණය කර,හැකිනම් ඔවුන්ගේ ඡායාරූප පවා ප්‍රචාරය කළේය. සැකකරුවෙක් අත්අඩංගුවට ගත් පමණින් වරදකරුවකු වන්නේ නැත.‘සැකපිට අත්අඩංගුවට‘ යන්නේ සරල තේරුම මෙයයි. අත්අඩංගුවට ගන්නේ සැකයක් ඇති වූ නිසා පමණි. එම සැකය හේතු දැක්විය හැකි සැකයක් විය යුතු බව නඩුතීන්දුවල දැක්වේ. එම සැකය තහවුරු වන්නට නම් අදාල පරීක්ෂණ සිදුකර අධිකරණයේදී වරදකරු විය යුතුය.

පසුගිය දිනවල අත්අඩංගුවට ගත් විශාල පිරිසකට මෙම අසාධාරණය සිදුවිය.අත්අඩංගුවට ගත් ඇතැම් සැකකරුවන්   නිදහස් කෙරිණි. නමුත්   නිදහස් කිරීමෙන් අනතුරුව මාධ්‍ය ඒ බව ප්‍රචාරය කරන්නේ නැත. නමුත් අත්අඩංගුවට ගත් විගස ඔවුන් වරදකරුවන් කර රටපුරා පතුරවන්නට මේ “මාධ්‍ය අධිකරණ“ නොපසුබටව ක්‍රියා කරයි. නිදහස් කිරීමෙන් අනතුරුව ඒවා ගැන සදහනක් නැත.


අයිඑස් සංවිධානය ගැන ලිපි සන්තකයේ තිබූ නිසා අයිඑස් සංවිධානයට සම්බන්ධයැයි ඇති වූ සැකය මත ‘ළගම පාසල හොදම පාසල‘ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයකු අත්අඩංගුවට ගැණිනි.නමුත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ විමර්ශනවලදී හෙළි වූයේ ඔහු අයි එස් ත්‍රස්ත සංවිධානයට විරුද්ධව ලිපි ලියූ අයෙක් බවටයි.ඔහු සන්තකයේ අයි එස් සංවිධානයට අයත් ලිපි තිබුණේයැයි පොලිසිය ප්‍රකාශ කර තිබුනේ අයිඑස් සංවිධානයට එරෙහිව ලියූ ලිපිය.සමහර විට අයි එස් වචනය තිබීම නිසා ඔහු අත්අඩංගුවට ගත්තා විය හැකිය.ඔහුගේ සමහර ලිපි පත්තරවල පවා පළ කර තිබිණි.


විදෙස් මාධ්‍ය වල හැසිරීම මීට හාත්පසින්ම වෙනස්ය.නවසීලන්ත පල්ලියේ වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ එරට මාධ්‍ය ක්‍රියා කළ ආකාරය අතිශයින්ම පැසසීමට ලක් විය යුතුය.එරට කිසිදු මාධ්‍ය ආයතනයක අදාළ වෙඩි තබන අවස්ථාවේ වීඩියෝ පට විකාශය කළේ නැත.නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය කිසිදු පැකිලීමකින් තොරව මිය ගිය මිනිසුන්ගේ සේයාරූ සහ තම ආදරණීයයන් මිය ගිය වේදනාවෙන් සහ බියෙන් කෑ ගසන මිනිසුන්ගේ කෑ ගසන අදෝනා හරි හරියට විකාශය කළේය.

සමහරු කීවේ එම මාධ්‍ය ආයතනවල ‘මාධ්‍ය සදාචාරය‘ නම් වස්ත්‍රය කැළේ කියාය.අහිංසක මිනිසුන්ගේ මිනී උඩින් Ratings වැඩි කරගැනීමට ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කිරීම  පිළිකුල් සහගතය.


ප්‍රහාරයෙන් පසු රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වයට මාධ්‍ය ආයතන ද වගකිව යුතුය.මෙහිදී රජයේ ක්‍රියා පටිපාටියද මෙම ගින්න වැඩිවීමට හේතු විය. සමාජ මාධ්‍ය ජාලා වාරණය මගින් ආණ්ඩුව කළේ අසත්‍ය ප්‍රචාර පැතිරීම වැඩි කිරීමට උදව් කිරීමය. ආණ්ඩුව මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය කෙමෙන් කෙමෙන් වාරණය කළේය.ඉන් සිදු වූයේ අසත්‍ය ප්‍රචාර පතුරන්නන්ට තම වෛරී ප්‍රචාර පැතිරවීමට ඉඩ හසර සකසා දීමය.පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පසු රට තුළ ඇති වූ නොසන්සුන්තාවට හේතුව මෙයයි. වගකිව යුතු මාධ්‍ය හැසිරීම සහ දේශපාලනයේ හැසිරීම එහි මූලික තැනක් ගනී.


මාධ්‍ය අචාර ධර්ම පසෙක දමා ඔවුන් රේටින්ග්ස් පස්සේ යන්නට විය.මුස්ලිම් සමාජය කෙරෙහි වෛරය සහ සැකය ඇති කිරීමට ඔවුන් කළ මෙහෙයුම අති විශාලය.පසුව හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසූ ආකාරයට ‘මාධ්‍ය සංදර්ශන‘ පැවැත්වීම හේතුවෙන් සිංහල ජනයා තුළ මුස්ලිම් සමාජය කෙරෙහි සැකය වර්ධනය කළේය.


දිවයින පුරා කළ සෝදිසි මෙහෙයුම්වලදී මුස්ලිම් දේවස්ථාන දහසකට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කෙරිණි. ඉන් දේවස්ථාන දෙක තුනක තිබී කඩු සහ පිහි හමුවිය. නමුත් මාධ්‍ය වාර්තා කළේ පරීක්ෂා කළ සෑම පල්ලියකම කඩු තිබෙනවා යන අදහසක් ජනතාවට යන ආකාරයටය. එක් පල්ලියක කඩු තිබුණේ සෝදිසි මෙහෙයුම් අවස්ථාවේ දේශපාලනඥයකු ගෙනවැත් දමා බව පසුව අනාවරණය විය.


සමහර නිවාසවලින් හමුවූ පාන් ගෙඩියක්වත් කපාගැනීමට නොහැකි ආකාරයේ වසර ගණනක් පැරණි පිහි පවා ‘කඩු‘ ලෙස හුවාදක්වමින් කළ මාධ්‍ය සංදර්ශනය නිසා සිංහල ජනතාව තුළ තම අසල්වාසි මුස්ලිම් වැසියන් ගැන පවා සැකයක් ඇති වන්නට පටන් ගත්තේය.


මුස්ලිම් පල්ලිවලින් කඩු හමුවූ බවට විශාල ප්‍රචාරයක් ගෙන ගියද ඇත්ත වශයෙන්ම පල්ලි කීයක් සෝදිසි කළාද,පල්ලි කීයකින් ආයුධ හමු වූවාද යන්න කිසිම මාධ්‍යයක් හෝ රාජ්‍ය අංශයක් අනාවරණය කළේ නැත.පරීක්ෂා කළ නිවාස ගණන හෝ නිවාස කීයකින් ආයුද හමුවූවාද කියා හෝ කිසිම තැනකින් ප්‍රකාශයක් වාර්තා වූයේ නැත.ජනතාව අතර මුස්ලිම් සමාජය කෙරෙහි ඇති සැකය බිය නැති කිරීමටනම් මෙම සත්‍ය සංඛ්‍යා ලේඛණ මාධ්‍යයට අනාවරණය කළ යුතු අතර මාධ්‍ය ඒවා මහජනතාවට ගෙන හැර දැක්විය යුතුය. “මුන්ගේ පල්ලිවලින් කඩු හම්බෙන තරම්“ කියන තරමටම ඒ මාධ්‍ය සංදර්ශන දරුණු විය.ඒ මාධ්‍ය සංදර්ශනවල හැටියට ඕනෑම කෙනෙකුගේ සිත් තුළ එම සැකය ඇතිවීම අසාධාරණයැයි කිව නොහැකිය.මේවා බොරුයැයි කීමටවත් ආණ්ඩුව ක්‍රියා නොකිරීම පුදුමසහගතය.පාස්කු ප්‍රහාරයෙන් පසු බොහෝ ජනයාගේ හදවත් වල මුල්බැහැගැනිමට සමත් වූ ආගමික නායකයන් පැතිරවූ අසත්‍ය  පණිවුඩ බොරු ඒවායැයි කීමටවත් ආණ්ඩුව ක්‍රියා නොකළ නිසා මෙම ගින්නට තවත් පිදුරු එක් විය.

හන්දියක ඇති වන පුංචි ගැටුමකදී පවා සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට ආණ්ඩුව ක්‍රියා කිරීමත් සමග ඇති වූයේ මිනිසුන් අතර නැති බොරු මවාපාන්නන්ට තම අසත්‍ය ප්‍රචාර ගෙනයාම ඉඩහසර සකසා දීමය.

ඇත්ත වශයෙන්ම මීගමුව් සිද්ධියේදී සමාජ මාධ්‍ය ජලා භාවිත කරන උගත් බොහෝ පිරිස් ප්‍රචාරය කළේ ගැටුම්වලට සහභාගී නොවී ආරක්ෂක අංශවලට සහයෝගය දෙන ලෙසටයි.“ඇවිස්සෙන්න එපා.අවුස්සන එකත් සැලසුමේ කොටසක් “යැයි පැවසෙන අදහස් හුවමාරු විය.නමුත් ආණ්ඩුව එය තහනම් කිරිමෙන් අනතුරුව ජනතාව අතර පැතිර ගියේ සැකයකි.

දිගින් දිගටම මාධ්‍ය හරහා ජාතිවාදය වැපිරවීමේ අවසන් ප්‍රතිඵලය වූයේ මැයි 13 වැනි දා ප්‍රහාරයයි. 21 ප්‍රහාරයෙන් පසු සැකයෙන් ජීවත් වූ ජනයාතුල වෛරය ඇති කරවීමට මාධ්‍ය හැසිරුණු ආකාරය තදින්ම බලපෑවේය.    අවසානයේ කිසිම දේකට සම්බන්ධයක් නැති අහිංසක මුස්ලිම් වැසියෙක් ජීවිතයෙන් වන්දි ගෙව්වේය. තවත් අහිංසක මුස්ලිම් වැසියන් රැසකගේ දේපොළ ගිනිබත් විය.

නිවැරදි ජනමාධ්‍යකරණයක් උදෙසා මාධ්‍ය ප්‍රජාව තල්ලු කිරීමට වගකීම්සහගත ජනමාධ්‍ය භාවිතාව ගැන තවදුරටත් සමාජයේ කතාබහ පුළුල් විය යුතුය.

 

Make a Comment